හරක් කටා ගැන විමර්ශනයට දේශබන්දු CIDයට කඩා වදී

539

විමර්ශන සඳහා අමතර පොලිස් කණ්ඩායම් 3ක්

කුඩු කිලෝ 4000ක් එවලත් නඩු දාලා නැහැ

නිලධාරීන්ට දෙහි කපයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියමින් එම විමර්ශන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (04 දා) කටයුතු කර ඇත.

හරක්කටා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා වැඩබලන පොලිස්පති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ පැමිණි අතර එහිදී මෙම නිලධාරීන් මෙසේ දෝෂ දර්ශනයට ලක්කර තිබිණි.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක්කටා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියද, ඔහුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු ඉතා මන්දගාමී අයුරින් සිදුවන බව තෙන්නකෝන් මහතා නිරීක්‍ෂණය කර ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළ තෙන්නකෝන් මහතා හරක්කටාට එරෙහි විමර්ශන සඳහා අමතර පොලිස් කණ්ඩායම් 3 ක් පූර්ණකාලීන විමර්ශන සඳහා යෙදවීමට කටයුතු කර ඇත.

මෙරට මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා යුක්තිය මෙහෙයුම ඉතාම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වුවද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ වැටලීම් සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රහස් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බවද තෙන්නකෝන් මහතා කියා ඇත. එබැවින් හරක්කටාට එරෙහි විමර්ශන කඩිනම් කර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසද විමර්ශන නිලධාරීන්ට දැඩිව ප්‍රකාශ කර ඇත.

ගෙවී ගිය වසර කිහිපයක කාලයේදී හරක්කටා විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 4000 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවූ බවට නිවැරදි තොරතුරු ලැබී තිබුණද මේ වනතෙක් මොහුට විරුද්ධව කිසිදු මත්ද්‍රව්‍ය නඩුවක් ගොනු කිරීමට නොහැකිවීම විමතියට කරුණක් බවද පොලිස්පතිවරයා පෙන්වාදී ඇත.

හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු සිදුකර ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment