රාජපක්‍ෂවරු සනසන ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – විපක්‍ෂ නායක

130

සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතර රාජපක්‍ෂවරු සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්‍ෂ නායකවරයා මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ ගම්පහ, ගාල්ල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ ඊයේ (29 දා) විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති වැඩසටහනකදී ය.

විධායකය අහෝසි කරන පළමු පියවර සඳහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බව කී විපක්ෂ නායකවරයා, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ අංග සම්පූර්ණ 21වන සංශෝධනයට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතු යැයිද කීය.

රටේ අරමුණ සහ ඉල්ලීම රාජපක්ෂලා ගෙදර යැවීම බව කී විපක්ෂ නායකවරයා ලුම්පන් කල්ලියක අරමුණ වන්නේ රාජපක්‍ෂලා ආරක්‍ෂා කිරීම බවද පැවසීය.

අද වන විට රටේ බරපතළ ආහාර හිඟයක් මතුව ඇති බව කී විපක්ෂ නායකවරයා ගොවිජනතාවට සිදුකළ අගතිය නිසා අස්වැන්න බරපතළ ලෙස පහළ බැස ඇතැයිද කීය. මේවා අන්තනෝමතික තීන්දු නිසා හටගත් අර්බුද බව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව මේ සියල්ලට වගකිව යුතු බවද කීය.

අරගලයට දින 50ක් වූ අතර එහි අරගල කරන තරුණයකුගේ ජංගම දුරකථනය ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරියකු පැහැරගෙන ඇති බවත්, මේ ආණ්ඩුව ලබා දී ඇති මාධ්‍ය නිදහස එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඒ තරුණයාගේ නිදහස් මාධ්‍ය භාවිතයට එරෙහි වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව කී සජිත් ප්‍රේමදාස මහතා වහාම එම තරුණයාගේ දුරකථනය ලබා දියයුතු බවද කීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment