අගමැති වීමට සූදානම්: සජිත්ගෙන් ජනපතිට ලිපියක්

298

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස ජාතික සමගි බල සන්ධානය ආණ්ඩුව පිහිටුවා එහි නායක ලෙස තමා අගමැති ධුරය භාර ගැනීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (12 දා) ලිඛිතව දැනුම් දුන්නේය.

විපක්ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

පසුගිය දිනක ඔබතුමා දුරකථනයෙන් මා අමතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස කළ යෝජනාව සහ අති ගෞරවනීය මහ නායක ස්වාමීන් වහන්සේලාගේත් අනෙකුත් ආගමික නායකයන්ගේත් ඉල්ලීම පරිදි අවස්ථා කීපයක් සමගි ජන බලවේගයේ හා සමගි ජනබල සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කළෙමි. ඒ අනුව පහත සඳහන් එකඟතාවලට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමටත් තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.

ඔබතුමා ඊයේ අමතා කළ ප්‍රකාශනයේ ද ඇති පරිදි,

  1. නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට එකඟ වීම.
  2. සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම.
  3. අප විසින් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ගැසට් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව ඉතාම අවම කාලයක් තුළ සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම.
  4. ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට, නීතියේ ආධිපත්‍ය තහවුරුකොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.

ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත්, ඉදිරියේදී තවදුරටත් අගාධයට ඇදවැටෙන ආර්ථිකය පාලනය කිරීම සඳහාත් මට සහ අප කණ්ඩායමට ස්ථිරසාර පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ඉහත සඳහන් කරුණුවලට අනුව නව කෙටිකාලීන රජය පිහිටුවීමේ රාමුව පිළිබඳව සහ හෙට දවසේ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment