රාජපක්ෂලාට දේශපාලනය කරන්න අයිතියක් නැ – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

160

රාජ්‍ය දූෂිත රැලක් අත්පත් කරගෙන

අර්බුදයේ වගඋත්තරකරුවා මහින්ද අප්පච්චී

ආණ්ඩුවේ වාර්තා බොරු. කොවිඩ් මරණ තිස් දහසක් ඇත්ත හොයන්න කොමිසමක් අවශ්‍යයි

ඩොලර් හොයන අපේ මඟ ඩෙක්ස්ටොප් ෆැක්ටරි

බදු වැඩි නොකර ආදායම සියයට පනහකින් වැඩි කරන්න පුළුවන්

මගේ කාලේ තෙල් රු. 95 යි. රටවිරුවා ඒක රු.400 කළා

බදු බරින් ජනතාව හෙම්බත්ව ඇති මොහොතක බදු අය නොකර රාජ්‍ය ආදායම සියයට පනහකින් ඉහළ දැමිය හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර තිබිණි. එය එසේ කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරමින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පාඨලී චම්පික රණවක මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්කර ගත්තෙමු. එහිදී රාජපක්‍ෂලාට තවදුරටත් දේශපාලනය කළ නොහැකි බව, කොවිඩ් මරණ සම්බන්ධයෙන් කොමිසමක් පත් කළ යුතු බව ඇතුළු විවාද සම්පන්න කරුණු කාරණා ගණනාවක් ඔහු සාකච්ඡාව තුළ මතු කළේය. පහතින් පෙළගැසෙන්නේ පාඨලී චම්පික රණවක මහතා සමග කළ එම සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – රටේ ජනතාව මේ මොහොතේ ඉන්නේ බදු බරත් සමඟ දරාගන්න බැරි පීඩනයක. ආණ්ඩුව බදු ඉහළ නංවද්දී කිසිම බදු පැනවීමකින් තොරව ආදායම 50%කින් වැඩිකර ගන්න පුළුවන් බව ඔබ සඳහන් කර තිබුණා. ඇත්තටම ඒ කතාව ජනතාව දිනාගෙන ඡන්ද බලාගෙන කියපු කතාවක් ද? එසේ නොවේනම් එය කරන්නේ කොහොමද?

පිළිතුර – මම කරන්න බැරි දේවල් කියල නෑ. කියපු හැම දේම කරල තිබෙනවා. අපේ ආදායම එකතුවීමේදී බදු වර්ග දෙකක් සියයට 50 කට වැඩියෙන් ඉලක්කය ඉක්මවා බදු එකතු කරල තියෙනවා. එකක් තමයි වෘත්තීයවේදීන්ට ගහපු බද්ද. බලාපොරොත්තු වුණේ බිලියන 100යි. නමුත් බිලියන 142ක්, 150ක් අතර ප්‍රමාණයක් එකතුවුණා. ඇයි ඒ…. ඒකට හේතුව ඒ අයගේ ආදායම්, වියදම් රෙකෝඩ් වෙලා තිබෙනවා. ලංකාවේ සෑම මිනිස්සුන්ගෙම ආදායම්, වියදම් රෙකෝඩ් වෙන ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකක් තියෙන්න ඕන. එහෙම නොවුනොත් වෙන්නෙ එක පිරිසකගේ ආදායම්වලට පමණක් බදු එකතු කිරීමයි. ඇත්තටම සෑම කෙනකුගේ ආදායම් වියදම් රෙකෝඩ් වෙන ප්ලැට්ෆෝම් එකක් හදන්න අපිට තියෙනවා වැඩපිළිවෙළක්. ඒ ගැන සාකච්ඡා කර අපි යෝජනා පවා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ආයෙත් මොන බද්දක්වත් වැඩිකරන්න ඕනෙ නෑ. අපිට බිලියන 1000ක් විතර හොයාගන්න පුළුවන් ඒ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකෙන්. අපිට ඒක මාස හයෙන් කරන්න පුළුවන්. මම අභියෝගයක් විදිහට ඒක කියන්නෙ. කිසිදු බදු වැඩි කිරීමකින් තොරව ආදායම සියයට පනහකින් ඉහළ නංවන්න පුළුවන් කියන්නේ ඔය මං කිව්ව ක්‍රමයට.

ප්‍රශ්නය – බදු නොගෙවන පිරිසගෙන් බදු එකතු කළා නම් අර්බුදය මේ තරම් දරුණු නොවන බව ඔබ සඳහන් කර තිබූ තව කාරණයක්. කවුද මේ විදිහට බදු පැහැරහැරීම් කරන්නේ.

පිළිතුර – අයි.ආර්.ඩී. (දේශීය ආදායම් දෙපාර්තමේන්තුව) ඒකට බදු මුදල් රුපියල් බිලියන 173ක් කෙලින්ම එකතුවෙන්න තියෙනවා. තව බිලියන 1000ක විතර බදු සම්පූර්ණයෙන් එකතුවෙන්න තියෙනවා. කස්ටම් එකේ බිලියන 62ක් තියෙනවා එකතුවිය යුතු. ඒකෙන් බිලියන 58ක්ම තියෙන්නෙ ආණ්ඩුව විසින් ගෙවිය යුතු බදු. සුරාබදු එකේ තියෙනවා බිලියන 6.5ක් විතර එකතුවෙන්නෙ නැති බදු. ඔය වගේ බදු විශාල ප්‍රමාණයක් තිබෙනවා එකතුවෙන්න. මේ වන විට රාජ්‍ය දූෂිත දේශපාලනඥයන්, නිලධාරීන් හා ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අත්පත් කරගෙන තිබෙන්නේ. මේක හරියට සුද්ද කරොත් අහිංසක දුප්පත් මිනිස්සුන්ට බදු නොගහා ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ කියන විදිහට බදු පැහැර හැරීම් තියෙනවා. ඒ වගේම ඒව එකතු කර ගැනීමත් දුෂ්කර කාරණයක්. එහෙම තත්ත්වයක් තිබියදී බදු නොගහ අපිට ඉදිරියට යන්න පුළුවන් ද?

පිළිතුර – මෙහෙමයි, රජයට බදු පනවන්න වුණු හේතු අපි බලමුකො. 2019 වියත් මගෙන් කිව්වේ මොකක්ද? රටේ ආර්ථික සංවර්ධන වේගය සියයට 7 ක වේගයකට ගේනවා කියල. අන්තිමට නතර වුණේ සෘන 7 න්. තාම පුරාජේරු ගහනවා 2012 වසරේ සියයට 6ට ගත්ත එක ගැන. එදා සියයට 6 ගත්තෙ කරුණු දෙකක් නිසා. එකක් උතුරේ එතෙක් ආර්ථිකයට එකතුවෙලා නොතිබුණු දේවල් දකුණේ ආර්ථිකයට එකතු වීම. ඒ වාසියම ප්‍රේමදාස මහත්තයටත් ආව වසර 1990. ජේවීපී කැරැල්ල නැති වුණාම එකපාරටම ආර්ථික වර්ධනයක් ඇතිවුණා. එදා මහින්දගේ කාලයෙ ඇතිවුණු තත්ත්වයේ ගෞරවය යන්නෙ මහින්ද රාජපක්‍ෂට නොව යුද හමුදාවට.

දෙවෙනි කාරණය මහින්ද රාජපක්‍ෂ අධික පොලියට විදේශයන්ගෙන් ණය අරගෙන ඒවායින් ඉදිකිරීම් බුබුළක් හැදුවා. ඒ බුබුළ දැන් පුපුරලා ගිහින්. ඒවා මහා ජයග්‍රහණ හැටියට අදත් පෙන්වනවා. නමුත් ඒවා මේ රට සම්පූර්ණ බංකොළොත් කරන්න හේතුවුණු දේවල්. ඒ බංකොළොත්භාවයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ආර්ථිකය කුඩා වුණේ. ඒ නිසා 2020-2024 දක්වා අපේ හැම පුද්ගලයෙක්ටම රුපියල් ලක්ෂයක් ආදායම් අහිමිවෙලා තියෙනවා. මේ කාලය ඇතුළත බදු හැටියට ටි්‍රලියන 2ක් අයකරගෙන තියෙනවා. රුපියල් මිලියන 1800කට තිබුණු බදු ආදායම 3000ක වෙලා. එතකොට තව රුපියල් ලක්ෂයක් අඩුවෙලා. එක පැත්තකින් ලක්ෂයක් අහිමිවෙලා, අනෙක් පැත්තෙන් තව ලක්ෂයක් අහිමිවෙලා. ඒකට අප්පච්චි තමයි වගකියන්න ඕන. ඒක දැන් උසාවියෙනුත් කියල තියෙන්නෙ. තව වාද විවාද කරන්න දෙයක් නෑ. දැන් තියෙන ආර්ථික අර්බුදයට හේතුවක් විදිහට කොවිඩ් වසංගතය ඒ අය පෙන්වනවා. ඇත්තටම කොවිඩ් කාලයේදී මියගිය ගණන පහළොස් දහසක් යැයි කීවත් මේ රටේ මිනිසුන් 30000ක් මැරුණා. ඒක තමයි ඇත්ත. කොවිඩ් නිසා මිනිස්සු 15000යි මැරුණෙ කියන ආණ්ඩුවෙ වාර්තා බොරු. කොවිඩ් හරියටම මර්දනය කරා කියන ආණ්ඩුව ධම්මික පැණිය දීලා, එන්නත් ගෙන්නෙ නැතිව දහස් ගණනක් මිනිස්සු නිරපරාදේ මරු තුරුළට රැගෙන ගියා. ඇත්තටම අපේ රටේ කොවිඩ් තුරන් වුණේ ලෝකයෙම කොවිඩ් තුරන් වෙද්දි. හැබැයි බැසිල් රාජපක්‍ෂ පිටරටින් සංචාකරයො ගෙනහල්ල, රට පුරා කොවිඩ් බෝ කළා. දෙවැනි රැල්ල හැදුවෙ බැසිල්. දෙවැනි රැල්ලෙන් කොච්චර මැරුණ ද? ඇත්තම කිව්වොත් කොමිසමක් පත්කරල කොවිඩ් නිසා මැරිච්ච ඇත්ත ගාණ හොයලා දඬුවම් දෙන්න ඕන. ධම්මික පැණිය හදපු අයටයි, කලගෙඩි දාපු අයටයි, එන්නත පමාකරපු අයටයි දඬුවම් දෙන්න ඕන.

ප්‍රශ්නය – රාපජක්‍ෂවරු මේ ආර්ථිකය බංකොළොත් කළා කියා අධිකරණයෙන් කිව්වත්, මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් නම් කියන්නෙ යහපාලන ආණ්ඩුව කාලයෙ ගත්ත ණයත් මේකට හේතුවුණා කියලා.

පිළිතුර – කිසිම විදිහකට ඒක හේතුවක් වුණේ නෑ. මොකද ගෝඨාභය රාජපක්ෂගේ කාලයෙත් ගෙවපු ණයවලින් 71%ක් වැය කළේ මහින්ද රාජපක්‍ෂ ගත්ත ණය ගෙවන්න. ඊළඟට යහපාලනය කාලයෙ ගත්ත ණයවලින් මොකද කළේ… යහපාලනය බිලියන 12න්, බිලියින 7.5ක් ඉතුරු කළා. ඒවට මොකද කළේ. එකෙන් බිලියන 5.5ක් නාස්ති කළා ඩොලර් එක රැකගන්න. අපි නෙමෙයි කියන්නෙ රාණි ජයමහ. ඒව තමයි ආර්ථික අපරාධ. ඒවට තමයි උසාවිය දඬුවම් දීල තියෙන්නෙ. ඉතුරු ටිකෙන් 71% ක් වැය වුණේ මහින්ද රාජපක්ෂගේ ණය ගෙවන්න. මහින්ද තමයි මේ විෂම ණය චක්‍රය හැදුවෙ. මම පොතක් මුද්‍රණය කර කිව්ව කවද හරි රට බංකොළොත් වෙන්නෙ මහින්ද ගත්ත ණය නිසා කියල. මට දිව්‍ය ඥානය තියෙන්න එපැයි ඒක කියන්නෙ. මොකද යහපාලනය එන්නත් කලින් මම ඒක කිව්වනෙ. අපි දැක්ක මහින්ද මේ රට විෂම ණය චක්‍රයකට ගොදුරු කළා කියලා. සරළම උදාහරණය ගනිමු. අන්තිමට රට බංකොළොත් වුණේ 2022 අප්‍රේල් 12 දා. 2022 ජුලි මාසයෙ ගෙවන්න තිබුණා ඩොලර් බිලියන 1 ක ණයක්. කවුරු ගත්ත ඒවාද? ගරු මහින්ද රාජපක්ෂ ගත්ත ණයක්. 2012 ගරු මහින්ද රාජපක්ෂ 6% පොලියට ගත්ත ණයක්. ඒක ගෙවන්න බැරිවයි රට බංකොළොත් වුණේ. කනගාටුවට කරුණ යහපාලන කාලයේ හිටපු දැන් සමගි ජනබලවේගයේ ඉන්න උන්ටවත් කියාගන්න දැන් කටක් නෑ.

ප්‍රශ්නය – රට මේ යන විදිහට ගියොත් නතර වෙන්නේ කොතනද? ඔබගේ පුරෝකථනය මොකක්ද?

පිළිතුර – මේ යන විදිහ පැහැදිලිවම වෙනස් වෙන්න ඕන. මගේ මතය තමයි ඉන්ධන ගාස්තු අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම ඩීසල් මිල. ඒ වගේම විදුලිගාස්තු. 30%කින් අඩුකරන්න පුළුවන් විධිමත් කළමනාකරණ වැඩපිළිවෙළකින්. මොකද මම එහෙම කියන්නෙ මම විදුලිබිල අඩු කරපු ඇමැතිවරයෙක්. එහෙම අඩුකරලත් විදුලිබල මණ්ඩලය ලාභ කරපු මිනිහෙක්. මම තෙල් මිල අඩුකළ මිනිහෙක්. මිනිස්සුන්ට මතක නෑ මගේ කාලයේ රුපියල් 95ට තෙල් තිබුණ කියලා. රටවිරුවෙක් කියල රට කන මෝඩයෙක් ගෙනල්ල තමයි මේ රුපියල් 400ට තෙල් ගහන්නෙ. මේ දේවල් අඩුකරන්න පුළුවන්. හැබැයි මිනිස්සු රැවටෙන්න නැතිව ඉන්න ඕන.

ප්‍රශ්නය – ජනවාරි මාසයේ ආයෙත් විදුලිබිල අඩුකරන බව කියනවා ?

පිළිතුර – දැන් ලාභයිනේ. මේ පසුගිය මාස තුනේ රුපියල් බිලියන 6කට වඩා ලාභයි මණ්ඩලයට.

ප්‍රශ්නය – ඇත්තටම කොයි තරම් ප්‍රමාණයකින් විදුලිබිල, තෙල් මිල අඩුකරන්න පුළුවන් ද?

රාජපක්ෂලාට දේශපාලනය කරන්න අයිතියක් නැ - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

පිළිතුර – ඩීසල් ලීටරයක් ඇත්ත මිල කීය ද? රුපියල් 200යි. අනෙක් ඒවා බදුනෙ. කොහොමත් ජනවාරි මාසය වෙද්දි තව රුපියල් 38ක් වදිනවා. ඩීසල් සහ පෙට්‍රල්වලට. බදු නැත්නම් මේව අපිට අඩුවෙන්න දෙන්න පුළුවන්. බදු අඩුකරන්න නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන, ධනපතියන්ට රිදෙන්න. දෙක ආර්ථිකයේ ආදායම් වියදම් ඩිජිටල් කරන්න ඕන.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණයෙන් පසු ඔබ ජනාධිපති වුණොත්, පළමුවෙන්ම කරන දේ මොකක් ද?

පිළිතුර – අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා, මේවායින් අයථා ලාභ ලබපු මිනිස්සුන්ට දැනෙන විදිහට. ඊළඟට රටේ මිනිස්සුන්ගේ ආදායම්, වියදම් ඩිජිටල් වේදිකාවකට ගන්නවා පළමු හය මාසය ඇතුළත.

ප්‍රශ්නය – අද වෙද්දි අපි නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා. නමුත් ලෝකය දුවන්නෙ අලුත් ආර්ථික න්‍යායන් එක්ක. අපි කොහොම ද ඒ තැනට යන්නේ…?

පිළිතුර – අපි කරන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපි සාම්ප්‍රදායික චින්තනයෙන් මිදෙන්න ඕන. ජේ. ආර්. මිනිස්සු හිතනවා ජේ ආර් ගෙ නිදහස් වෙළෙඳ කලාප පිහිටුවන්න ඕන කියලා. ප්‍රේමදාසගේ මිනිස්සු හිතනවා ඇඟලුම් කම්හල් 200 රට වටේම දාන්න ඕන කියල. මහින්ද රාජපක්ෂගේ මිනිස්සු හිතනවා පාරවල් හදන්න ඕන කියල. අපි කියන්නෙ ඩෙස්ක්ටොප් ෆැක්ටරි ක්‍රමවේදයක්. ඒ කියන්නෙ ගෙදර මේසය උඩ ඉඳන් ස්මාර්ට් යුගයකට රට ගෙනියන්න පුළුවන් නම්, ඩොලර් උත්පාදනය කරල ආර්ථිකය නංවන්න පුළුවන්. අනෙක් එක සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරයෙන් උපයනවට වඩා වැඩි මුදලක් අහිමිවෙලා තියෙනවා, ආනයනයෙන් සහ ලාංකිකයන් පිටරට යැවීමෙන්. ඔස්ටේ්‍රලියාවට විතරක් ඩොලර් මිලියන 600ක් අපේ රටින් යනවා ශිෂ්‍යයන් විදිහට. සංචාරකයන් එනවට වඩා පිරිසක් අධ්‍යාපනයට අපෙන් පිටරටවලට යනවා. ඒ නිසා අවසානයේ ශුද්ධ සංචාරක ආදායම සෘන.

ප්‍රශ්නය – ඔබතුමාගේ ඩෙක්ස්ටොප් සංකල්පය මේ තියෙන ආර්ථික වටපිටාව ඇතුළෙ සාර්ථක කරගන්න පුළුවන් ද?

පිළිතුර – මේ තිබෙන තත්ත්වයට හොඳම විසඳුම ඒක. අපි හෝමාගම ටෙක් සිටියක් හදන්න ගියේ ඒකනෙ. ඒක මේ පිස්සු ආණ්ඩුව නතර කළානෙ. ඒ වගේ සිටි හතරක් අපි හදන්න ගියා. මාතර එකයි, මහනුවර එකයි, කිලිනොච්චියෙ එකයි.

ප්‍රශ්නය – ඔබ මේ කියන අදහසට සමාන අදහසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියල ප්‍රබල ව්‍යාපාරිකයෙක් කියනවා. ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ.

පිළිතුර – මේ රටේ අයථා ක්‍රමයෙන් ධනය උපයපු, සිහින මාළිගා තනපු අය වගේ නෙමෙයි අපි. යථා ක්‍රමයට රාජ්‍ය පාලනය කරලා පෙන්නුවා. පුද්ගලික ව්‍යාපාරිකයකුයි, රාජ්‍ය පාලනය අතර ලොකු වෙනසක් තියෙනවා. පුද්ගලික ව්‍යාපාරිකයන් රජයත් එක්ක එකතුවෙලා අයථා ලාභ ලබපු අයට පුළුවන් ඕන තරම් කතා පවත්වන්න. අපි රාජ්‍ය ආයතන කරලා පෙන්නුවා. හැබැයි ඔය කියන ව්‍යාපාරිකයන්ටත් රාජ්‍ය ආයතන භාරදුන්නා. කළාද….? නෑනේ. අපි තව අවුරුදු තුනක් එදා තිබුණ නම් කොළඹ හදල ඉවරයි.

ලංකාවට ටයිල් ආනයනය කරන එක නැවැත්තුවා. කවුද ඒ කළේ…? ව්‍යාපාරිකයො දෙන්නෙක්. ඒ අය කියනවා ඔවුන් හරි සාර්ථක ව්‍යාපාරිකයො දෙන්නෙක්ලු. පාන්පිටි ගෙන්වීම තහනම් කළා. කවුද ඒවා තහනම් කළේ… ලංකාවේ ව්‍යාපාරිකයො දෙන්නෙක්. ඒ අය රජය අල්ලගෙන බිස්නස් කරපු අය නෙමෙයි, ජාවාරම්කාරයො. මේ රටේ ව්‍යවසාය දායකත්වය තියෙන්නෙ තරුණ පරපුරට. ජාවාරමෙන් උපයාගත්ත සල්ලි ටිකක් විසි කරලා යම් යම් කාරණා කියන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ කියන වැඩපිළිවෙළ කවදා යථාර්ථයක් කළ හැකි වෙයි ද?

පිළිතුර – ජනතාව වරමක් දෙන්න ඕන. මට නෙමෙයි අපේ පරපුරට. පරපුර කියන්නෙ තාත්තලගෙන් පුතාට ආපු දේශපාලනය නැතිව, අයථා ක්‍රමයට ජාවාරමෙන් සල්ලි හොයපු ව්‍යාපාරික කෙරුවාවන් නැතිව, මාධ්‍ය අධිකාරිවලින් පුම්බකරපු චරිත නෙමෙයි. පහළින් මතුවුණු නිදහස් අධ්‍යාපනයෙන් මතුවුණු, මේ රට පුරා පැතිරී ගිය පරම්පරාවට අවස්ථාව දෙන්න ඕන. ඒ අවස්ථාව තමයි අපි නියෝජනය කරන්නෙ.

ප්‍රශ්නය – ඔබ කියන අවස්ථාව කොහොමද ගන්නේ. අපි දැක්කා පසුගිය දවස්වල පොහොට්ටුවේ දෙවන සම්මේලනය තිබුණා. අනෙකුත් පක්ෂත් සංවිධානය වෙමින් සිටිනවා. ජවිපෙ වඩාත් ඉහළට එමින් තිබෙනවා. මේ ආණ්ඩුවත් ඡන්දයක් සඳහා සූදානමින් ඉන්න බවක් පේනවා. මේ වගේ පරිසරයකින් ඔබේ අදහස මතුකර ගැනීම පහසු යැයි ඔබ හිතනවාද?

රාජපක්ෂලා නොවන අයට පොහොට්ටුව භාරදිය යුතුයි.

පිළිතුර – සම අදහස් දරන අය එකතුවෙන්න ඕන. මේ රටේ දේශපාලනය කරන්න රාජපක්ෂවරුන්ට නම් අයිතියක් නෑ. පොහොට්ටුවේ නායකත්වය රාජපක්ෂ නොවන අයට භාරදෙන්න ඕන. රාජපක්ෂල උසාවියේදි වැරැදි කාරයොවෙලා ඉවරයි. ඒ වගේම ඉදිරි කාලයේදී කොවිඩ් මර්දනය ගැන කොමිසමක් පත් කර, දඬුවම් ලැබිය යුතු පිරිසක් ඉන්නවා. පොහොට්ටුව රාජපක්ෂ නොවන අයගේ නායකත්වයට ගියොත් අපි පොහොට්ටුව පිළිගන්න ලෑස්තියි. ඒ වගේම පොහොට්ටුවේ නොවන පිරිසක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. සමාජයේත් ඉන්නවා. ඒ අයත් එක්ක අපි ගමනක් යනවා.

ජවිපෙ ගැන කිව්වොත් ඔය විප්ලවය යටින් තියාගෙන, බොල්ෂෙවික්වාදය තියාගෙන, උඩින් ලිබරල්වාදය ප්‍රකාශ කරමින් යන ගමනට ලෙකු අනාගතයක් නෑ. අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ මාක්ස්වාදය අසාර්ථකයි, බොක්ෂෙවික් වාදය අසාර්ථකයි, අපි ගොඩනගන්නෙ තනි පක්ෂ ක්‍රමයක් නෙමෙයි කියලා විවෘතව ආවොත් අනාගතයක් තියෙයි. ජවිපෙ කාලයෙන් කාලයට විවිධ වෙස් මූණු දාගත්තනෙ. දේශප්‍රේමී ව්‍යාපාරය කියල එකවරක්. දේශහිතෛෂී ජනතා ව්‍යාපාරය කියල තවත් වතාවක් වෙස් මුහුණක් දාගත්ත. ප්‍රජාත්ත්‍රවාදී පෙරමුණ කියල වෙස් මුහුණක් දාගත්තා. ඒ වෙස් මූණු දාගත්තට අභ්‍යන්තරව වෙනස් වුණේ නෑ. ඒ නිසා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අලුත් මගක යන්නෙ කියල විවෘතව කියනවා නම් ජවිපෙට අනාගතයක් තියෙනවා.

ප්‍රශ්නය – සජබෙ එන්නෙ ලක්ෂ හතළිස් ගාණක ඡන්ද ප්‍රමාණයක් අතේ තියාගෙන. රනිල් වික්‍රමසිංහ ලොකු ආර්ථික හැකියාවක් උත්පාදනය කරගනිමින් සිටින බව කියනවා. ඊළඟ ඡන්දය මොනව වෙයිද?

සාම්ප්‍රදායික පක්ෂ සුනේසුන්

පිළිතුර – ඇත්තටම සාම්ප්‍රදායික පක්ෂ සියල්ලටම එන්න ලැබෙන්නෙ නෑ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද මහත්තය විතරක් නෙමෙයි ජූලි 9 දා පැරදුණේ. සාම්ප්‍රදායික දේශපාලනය කරන, තාත්තලාගෙන් පුතාලට දේශපාලනය කරන්න පුළුවන් කියල හිතන, ඒ වගේම සල්ලිවලින් දේශපාලනය කරන්න පුළුවන් කියල හිතන, මාධ්‍ය අයිතිකරුවන් වෙලා දේශපාලනය කරන්න පුළුවන් කියල හිතන, ජාවාරම්කරුවන් වෙලා ඡන්දය ගන්න පුළුවන් කියල හිතන සියලු දෙනා ගිය අවුරුද්දෙ ජූලි 9 දා පැරදුණා.

ප්‍රශ්නය – ඊළඟට එන්නෙ ජනාධිපතිවරණයක් ද? මහ මැතිවරණයක් ද?

පිළිතුර – ජනාධිපතිවරණය ව්‍යවස්ථාවේ ලියා තියෙනවා. ඒක කාටවත් වළක්වාලන්න බැහැ. මහ මැතිවරණයක් තියන්න නම් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන.

ප්‍රශ්නය – ඔබගේ පක්ෂයේ මැතිවරණ සූදානම කොහොමද ?

පිළිතුර – අපි ඕනම මැතිවරණයකට සූදානම්. අපි ඒකට පුළුල් ජාතික සංවිධානයක් ඇතිකරන්න කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ පරපුරට. ඒ කියන්නෙ දුක්විඳලා, දැනුමෙන්, අරගලයෙන් ඉදිරියට ආපු කුසලතාවාදී පරපුරකට අපි අරාධනා කරනවා මේ ගමන යන්න අපිත් එක්ක එකතුවෙන්න කියලා. රට ගොඩගන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක්, නව අදහස් අපිට තියෙනවා.

ප්‍රශ්නය – ඔබ රට වටේ යන ගමනේදී මොන වගේ ප්‍රතිචාර ද තියෙන්නේ ?

පිළිතුර – දැනට ජනතාව දේශපාලනය ගැන කලකිරිලා ඉන්නෙ. විශ්වාසයක් නෑ. නමුත් ඡන්දයක් කිට්ටු වෙද්දි රට ශීඝ්‍ර දේශපාලන වෙනසකට ලක්වෙයි. 2014 නොවැම්බර් මාසයෙ කවුරුවත් හිතුවෙ නෑනේ 2015 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ පරදියි කියල. ඒ වගේම විශාල ජනවරමක් ලැබුණු ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකෙන් ගහල පන්නයි කියලත් කවුරුත් හිතුවේ නැහැ. දැන් මේ රටේ දේශපාලනය ඉතා කුඩා කාලයකින් වෙනස් වෙනවා.

ප්‍රශ්නය – අවසාන වශයෙන් රටේ ඡන්දදායකයන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද ?

පිළිතුර – ඔබේ අනාගතය අහිමි කළේ ඔබ භාවිතා කළ ඡන්දය. එම නිසා ඊළඟ අවස්ථාවේ ඡන්දය භාවිතා කිරීමේදී තවදුරටත් රැවටිය යුතු නැහැ. තාත්තගෙන් පුතාට බලය ගිය කාලය දැන් අවසන්. රාජපක්ෂලා ත්‍රස්තවාදයෙන් රට බේරගෙන අවසානයේ සිදු කළේ රට පරාදීන කරපු එකයි. ජාවාරම්කාර දේශපාලනඥයන්ගෙන් නිලධාරීන්ගෙන් සහ වෙළෙඳ ප්‍රජාවගෙන් රට බේරාගත යුතුයි.

සංවාදය –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment