කුසල්ට ලොකු ප්‍රමාදයක් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා

305

ඔහු පුහුණු තරගවලටත් එක් වේවි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා නුදුරු දිනයේදීම එම වීසා බලපත්‍රය ලැබෙනු ඇති බව විශ්වාස කරන බව සඳහන් කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකෙරෙන ආකාරය පිළිබඳව ඊයේ (17 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන විධායක නිලධාරිවරයා මේ බව සඳහන් කර සිටියේය.

කුසල්ට ලොකු ප්‍රමාදයක් නැහැ - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා

මාධ්‍ය විසින් සිදුකරන ලද විමසීමේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම තානාපති කාර්යාලයේ පිරිස, කුසල් මෙන්ඩිස් සමග මේ පිළිබඳව සම්බන්ධ වෙමින් වීසා බලපත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවද සඳහන් කර සිටියේය.

“කුසල්ගේ වීසා එක ප්‍රතික්ෂේප කරලා නෑ. තානාපති කාර්යාලයේ වීසා බලධාරීන් කුසල් එක්ක සම්බන්ධවෙලා සිටිනවා. එයාගෙන් තව තොරතුරුවලට අදාළ ලියැකියවිලි වගයක් ඉල්ලලා තියෙනවා. ඒ ලියැකියවිලි ටික ඔවුන්ට භාර දුන්නට පස්සේ මං හිතන්නේ කුසල්ට වීසා එක ලබා දෙයි” යැයි ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

“ඇත්තෙන්ම අයි.සි.සී. ය වීසා ලබා දීම සඳහා වන සහයෝගය ලබා දෙන කාලය පටන් ගන්නේ මේ මාසේ 25 වැනිදා. නමුත් එහේ තියෙන දේශගුණික සහ තණතීරුවල තත්ත්වයන්ට හුරු වෙන්න අපි කණ්ඩායම යැව්වා සති දෙකකට කළින්ම. ඒ නිසා කිසිම ප්‍රමාදයක් වෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා අයි.සී.සී. ය ලෝක කුසලාන කටයුතු ආරම්භ කරනකොට කුසල්ට එහෙට යන්න පුළුවන් කියලා. ඒ වගේම නියතයෙන්ම ඔහුට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගවලට සහභාගිවීමේ අවස්ථාව උදාවෙයි” යැයි ප්‍රධාන නිලධාරීවරයා ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග මැයි මස 27 වැනිදා සිට ආරම්භ වන අතර ශ්‍රී ලංකාව එම 28 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ෆ්ලොරිඩාහි පළමු තරගයටත්, අයර්ලන්තයට එරෙහිව එම ක්‍රීඩාංගණයේදීම දෙවැනි තරගයටත් සහභාගිවනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment