කොටහේනේ සිසුවිය දිවිනසා ගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය නිසි පියවර නොගත් නිසා

40

ලංකා ගුරු සංගමයෙන් චෝදනා
ඇයට සාධාරණය ඉටුවන තෙක් සටන අතහරින්නේ නෑ – ස්ටාලින්

කොටහේනේ පාසලක 11 ශ්‍රේණියේ ශිෂ්‍යාවක සිය නිවස පිහිටි කොටහේන මහල් නිවාසයේ 07 වැනි මහලෙන් පැන දිවිනසා ගන්තේ අධ්‍යාපන අමාත්‍යාංශය නිසි ක්‍රියාමාර්ග නොගත් නිසා යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය. මෙම ශිෂ්‍යාව බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටියදී එහි ගුරුවරයකු විසින් ඇය අතවරයට ලක්කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙකකට පසු ඇප ලබාදී ඇති අතර ඉන් එහාට අධ්‍යාපන අමාත්‍යාංශය සිය වගකීම් ඉටුකර නැතැයි ස්ටාලින් මහතා චෝදනා කළේය.

මෙම සිසුවිය අතවරයට පත්කළ ගුරුවරයා තවමත් එම පාසලේම ඉගැන්වීම් කටයුතු කරන අතර මෙම සිසුවිය බම්බලපිටිය පාසලෙන් ඉවත් කර කොටහේන ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර තිබියදී ඇය සියදිවි හානිකරගෙන තිබිණි. මෙම සිසුවිය කොටහේන ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවී සිටියදී එහි පාලකවරයා අනෙකුත් සිසුන් ඉදිරියේ මෙම සිසුවිය ගුරුවරයකු පොලිසියට රැගෙන ගිය අයකු බව පැවසීම නිසා ඇයට උපකාරක පන්තියට මෙන්ම කොටහේන පාසලටද යෑමට නොහැකිවීම නිසා සිසුවිය දිවි හානිකර ගෙන ඇතැයිද ස්ටාලින් මහතා චෝදනා කළේය.

ගුරුවරයකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු වැඩ තහනම් කළ යුතු වුවත් එසේ නොකර අධ්‍යාපන බලධාරීන් සිය වගකීම් පැහැර හැරීම නිසා මෙම සිසුවිය ජීවිතය අහිමිකර ගැනීම දක්වා සිද්ධිය දුරදිග ගිය බවද හෙතෙම පැවැසීය. මෙම සිසුවිය ජාතික පාසලක සිට කොටහේන පළාත් සභා පාසලකට ඇතුළත් කර ඇත්තේද අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව කලාප අධ්‍යක්ෂගේ ලිපියක් අනුව බවත් එයද නීතිවිරෝධී බවත් ස්ටාලින් මහතා කීය.

මෙම දැරිය අතවරයට පත්වී ඇති බව රිජ්වේ ළමා රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරුන්ද නිර්දේශ කර තිබිය දී ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ අධිකරණ වෛද්‍යවරයකු ලබාදී තිබූ වාර්තාවක් අනුව බවද ඔහු කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට පැමිණිලි කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් සාධාරණයක් වන තෙක් තම සංගමය බලාගෙන සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා


advertistmentadvertistment