අහස කඩාගෙන වැටුණත් ගනන්ගන්නෙ නැහැ

වේදිකාවෙන් රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන ඇය අද වන විට නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක්. සිනමාවට පය තියන්න බොහෝ දෙනෙක් විවිධ උත්සාහයන් ගනිද්දි ඇයට ආරාධනා ගලාගෙන එන්නෙ නිරායාසයෙන්. අද ඇය බාහිර පෙනුමෙනුත් ලොකු වෙනසකින් තමන්ගෙ ප්‍රේක්‍ෂකයන් ඉදිරියට ඇවිත්. අලුත්ම තොරතුරු එක්ක කාංචනා ඛාන්, මීවිත සමග මේ විදිහට දොඩමළු වුණා.

කොණ්ඩය හැදුවා විතරයි කෝල් එමටයි - කාංචනා ඛාන්

කාංචනා මොකක්ද මේ අලුත්ම වෙනසට හේතුව?

ප්‍රේක්‍ෂකයො කියනව හැමදාම මාව එකම විදිහටලු දකින්න ලැබෙන්නෙ. ඉතිං මගෙ ප්‍රේක්‍ෂකයො වෙනසක් බලාපොරොත්තු වෙනවනෙ. මමත් හිතුව වෙනසක් කරන්න ඕන කියල. සැලෝන් එකක් කරන මගේ යෙහෙළියක් කිව්වා අපි මේ වගේ දෙයක් කරමු කියල. ඇය මේ යෝජනාව කරල ගොඩක් කල්. නමුත් පහුගිය ටිකේ අවුරුදු උත්සව වගේ දේවල් එක්ක ටිකක් කාර්යබහුල වුණා. ඉඩක් ලැබුණ ගමන් තමයි මේ විදියට ලස්සනට කොණ්ඩය හදාගත්තෙ. ඒ වෙනුවෙන් දර්ශිට මම ස්තූතිවන්ත වෙන්න ඕන. ඇය සහ ඇයගේ කණ්ඩායම මේ වැඩේ ලස්සනට කරල දුන්න. උදේ දහයට පටන්ගත්තාම හවස හතරට විතර තමයි ඉවර වුණේ.

කොණ්ඩය හැදුවා විතරයි කෝල් එමටයි - කාංචනා ඛාන්

දැන් කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. දුරකතනයෙනුත් බොහෝ දෙනෙක් කතාකරනව. හැමෝම වගේ කියන්නෙ ඇත්තටම ලොකු වෙනසක් තියෙනව කියල. අපි මේක කළෙත් සවුත් අප්‍රිකන් ස්ටයිල් එකට. මම හිතනව ඒක සාර්ථක වුණා කියල. ගොඩක් සතුටුයි ඒ ගැන.

සිනමා නිර්මාණයකටත් සම්බන්ධ වුණා කියල ආරංචියි?

ඔව්, මම පසුගිය කාලයේ ‘මොනර කිරිල්ලි’ ෆිල්ම් එකට සම්බන්ධ වුණා. මට ලැබුණෙ පාතාලයේ නදීකාගේ චරිතය. දැන් ඒ වැඩ ගොඩක් දුරට අවසන්. ළඟදිම ඩබින් වැඩටික පටන්ගන්නයි ඉන්නෙ. ඒකත් එක්ක මට හිතුනා මගේ ප්‍රේක්‍ෂකයන්ටත් වෙනසක් දෙන්න ඕන කියල. මොකද අහිංසක ගැමි චරිතයක් විදිහටනෙ හැමදාම මාව දකින්නෙ.

කොණ්ඩය හැදුවා විතරයි කෝල් එමටයි - කාංචනා ඛාන්

කොහොමද රඟපෑම් වැඩකටයුතු?

මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට තුනක් ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව. නම් වශයෙන් ගත්තොත් සුනිල් ප්‍රේමරත්න අයියගෙ ‘අමුතු ගුරුකම’, එරංග අයියගෙ ‘ඔස්කාර්’, ගාමිණී හේවාවිතාරන අයියගෙ ‘මොණර කිරිල්ලී’ යන චිත්‍රපට තුනට තමයි මම රංගනයෙන් දියක වුණේ.

ගාමිණී අයියගෙ ඊළඟ චිත්‍රපටයෙත් පිටපත ලෑස්ති කරල ලොකේෂනුත් බලල අපි අලුත් වැඩකට සූදානම් වෙලා ඉන්නෙ. බොහෝ දුරට ළඟදිම අනුරාධපුරේ යන්නවෙයි ටික දවසකට නතර වෙන්න.

එක දිගට චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒක කොහොමද දැනෙන්නෙ?

ඇත්තටම හරිම සතුටුයි. මගේ සහෝදර රංගන ශිල්පීන් පවා කියන්නෙ ඔයා හරි ලකී, මොකද මේක හැමෝටම ලැබෙන්නෙ නැති චාන්ස් එකක් කියල.

ටෙලි තිරය අතහැරුනද?

නැහැ නැහැ… ගාමිණී හේවාවිතාරන අයියගෙ අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන්ගෙන තියෙනව. ඒක නම් කරල තියෙන්නෙ ‘බැඳගත් බෙරේ’ කියල. තවම ෂූටිං ඉවර නැහැ. මේක මගේ රංගන ජීවිතේ ලොකු පෙරළියක් කරපු චරිතයක්. ප්‍රහසන රංගනය කියන්නෙ අපි දකිනවට වඩා ගොඩක් අමාරු දෙයක්. නමුත් මම හරිම ආසාවෙන් ඒක කළා. සුප්‍රීම් ටීවී නාළිකාවේ විකාශය කරන්න තමයි දැනට කටයුතු සූදානම් කරල තියෙන්නෙ.

ටැටූ විලාසිතාවලට කැමැත්තක් නැද්ද?

ඒකටත් ආරාධනා ලැබෙනව. නමුත් රංගන ශිල්පිනියක් විදිහට සහ පෞද්ගලිකව මම ටිකක් අකමැතියි. ආසාවක් නැතිව නෙමෙයි. ඒ වුණත් රංගනයේ යෙදෙන හැම චරිතයකටම ඒක හරියන්නෙ නැති නිසා මම හිතනව ඒක මට ගැළපෙන්නෙ නැහැ කියල.

මේ යන ගමනෙදි කැපිලි කෙටිලි තියෙනවද?

ඒවනම් ඉතිං කොහොමත් තියෙනවනෙ. නමුත් මම ඒව ගැන එච්චර හිතන්නෙ නැහැ, ගනන්ගන්නෙත් නැහැ. ගොඩක් අය ඒ දේවල් කතාකළාට මම ප්‍රතිචාර දක්වන්න යන්නෙත් නැහැ. අපේ ගමන අපි යන්න ඕන. ඕවා ගැන හිත හිත හිටියොත් අපරාදෙ අපේ කාලය.

පෙනුම වෙනස් කරන්නත් ආරාධනා ලැබෙනවලු?

ඔව්, මට ගොඩක් වෙලාවට රූපලාවන්‍ය පැත්තෙන් කතාකරනව හම වෙනස් කරමු වගේ විවිධ දේවල් කියල. නමුත් අද වනතුරු මම ඒ කිසිම දෙයක් කරලත් නැහැ, කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඇත්තම කිව්වොත් මගේ ස්වාබාවික සුන්දරත්වය නැතිකරගන්නෙ නැහැ.

වේදිකාවෙන් ඈත් වුණාද?

ඇත්තටම වේදිකාවට ආරාධනා ලැබෙනව. මගේ පටන්ගැන්ම වේදිකාව. එතැනට මම හරි ආදරෙයි වගේම හරිම කැමතියි. නමුත් කාලය පිළිබඳ ගැටලු නිසා මේ දවස්වල වේදිකාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්නෙ.

කාංචනා ජීවිතය දකින්නෙ කොහොමද?

මේ ප්‍රශ්නෙදිනම් මගේ යාළුවොත් කියන්නෙ අහස කඩාගෙන වැටුණත් මම ගනන්ගන්නෙ නැහැ කියල. ඇත්තටම කිව්වොත් මොන කරදර ප්‍රශ්න ආවත් මම ඒවා ඔළුවට ගන්නෙ නැහැ. අපිට තියෙන්නෙ තව ටික කාලයයි. ඒ ටික කාලයේ සතුටින් ඉන්න ඕන. හැම මනුස්සයටම එන ප්‍රශ්න තමයි මටත් එන්නෙ. අපි කරන චරිත එක්ක බලද්දි, සමාජය දිහා බලද්දි ඇත්තටම බැලුවොත් අපිට ප්‍රශ්න නැහැ. ලැබෙන්න තියෙන හොඳම දේවල් අපිට ලැබිල තියෙනව.

අක්කා නිසා ක්‍ෂේත්‍රයෙන් ලැබුණ වටිනාකම මොන වගේද?

ඇත්තම කිව්වොත් තවමත් සමහරු දන්නෙ නැහැ මම මනීෂාගෙ නංගි කියල. වැඩකරන්න ගියාම කෲ එකේ අය අහනව ඇත්තටම මනීෂා ඔයාගෙ අක්කද?, එකකුසම උපන් අක්කද කියල. මොකද මම අක්කගෙ නම පාවිච්චි කරල ෆීල්ඩ් එකට ආවෙ නැහැ. කාංචනා ඛාන් කියල මේවනවිට මම නමක් හදාගෙන තියෙනව සහ මම වැඩකරන ක්‍රමවේදයක් තියෙනව. අක්කගෙන් මම කිසිම දෙයක් ගත්තෙ නැහැ. නමුත් ඇය නිසා මට එළියක් නොලැබුණා නෙමෙයි.

මහේෂ් එදිරිසිංහ


advertistmentadvertistment