කොදෙව් ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ලබති

233

අවසන් තරඟයෙන් කඩුලු‍ 6ක ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට සංචාරක බ. ඉ. කොදෙව් කණ්ඩායම ඊයේ (28දා) සමත්විය. එයත් සමගම තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබන්නට ඔවුන්ට හැකිවිය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (28දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට පැවරූ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 141 ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය.

ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 142ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කර ගැනීමට සමත්වූ අතර ඒ අනුව බ. ඉ. කොදෙව් කාන්තාවන්ට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකාව වන චමරි අතපත්තු ලකුණු 38ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 28ක්, කවීෂා දිල්හාරි ලකුණු 26ක් සහ අමා කාංචනා ලකුණු 19ක් ලැබීය.

පන්දු යැවීමේදී බ.ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඒලියා ඇලන් ලකුණු 25කට කඩුලු 2, අෆී ප්ලෙචර් ලකුණු 25කට කඩුලු 2ක්, චිනලි හෙන්රි ලකුණු 16කට 1කඩුල්ලක් සහ කරිෂ්මා රාම්හර්ක් ලකුණු 20කට කඩුලු 1ක් බිඳහෙළීය.

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන නායිකා හේලි මැතිව්ස් සහ ස්ටෙෆනි ටේලර් සාර්ථක ආරම්භක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර ස්ටෙෆනි ටේලර් ලකුණු 33කට දැවී යන විට ලකුණු පුවරුව 60ක් ලෙස කියැවිණි. ඒ අනුව හේලි මැතිව්ස් ලකුණු 49ක්, ෂේමයින් කැම්බල් නොදැවී ලකුණු 41ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කාව්‍යා කාවින්දි ලකුණු 27කට කඩුලු 2ක්, සුගන්දිකා කුමාරි ලකුණු 24කට කඩුලු 1ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 11කට 1ක කඩුල්ලක් බිඳහෙළීය.

ෂේමයින් කැම්බල් තරගයේ වීරවරිය ලෙසත්, හේලි මැතිව්ස් තරගාවලියේ වීරවරිය ලෙසත් සම්මාන ලැබීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 141යි.

චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම 28, කවීෂා දිල්හාරි 26, අමා කාංචනා 19.

ඒලියා ඇලන් 25-2, අෆී ප්ලෙචර් 25-2ක්, චිනලි හෙන්රි 16-1, කරිෂ්මා රාම්හර්ක් 20-1.

බ.ඉ. කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 142යි.

හේලි මැතිව්ස් 49, ස්ටෙෆනි ටේලර් 33, ෂේමයින් කැම්බල් 41.

කාව්‍යා කාවින්දි 27-2, සුගන්දිකා කුමාරි 24-1, කවීෂා දිල්හාරි 11-1.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment