වයඹ ඇළ මාර්ගයේ නැබඩගහවත්ත සිට මහකිතුල පිවිසුම උමග දක්වා ඇළ මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලයක් ප්‍රමාදවීම නිසා කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 15,154.74 දක්වා රුපියල් මිලියන 7928.12කින් එනම් සියයට 110කින් වැඩිවී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. ඇළ මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව වැට් බදු සහිතව රුපියල් මිලියන 7,226.62ක මුදලකට ලබා දී තිබුණි. ඉඩම් හිමිකරුවන් 03 දෙනකුට අදාළ වන්දි සම්බන්ධ ගැටලුවක් ඇති වීම හේතුවෙන් ඇළ මාර්ගයේ මීටර් 355ක ප්‍රමාණයක් ඉදිකිරීමට නොහැකිව දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබුණි.
එමෙන්ම 2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික හා මූල්‍ය අවපාතය හේතුවෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල පිරිවැය ඉහළයෑම හේතු ලෙස දක්වමින් මිල වෙනස්වීම් සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 162 ක මුදල රුපියල් මිලියන 5,827.7 දක්වා වැඩිකර තිබුණි. කොන්ත්‍රාත්තුවේ අතිරේක වැඩ හා ප්‍රමාණ වෙනස්වීම සඳහා රුපියල් මිලියන 540ක් වෙන්කර තිබුණද එම මුදල රුපියල් මිලියන 2,024.9 දක්වා රුපියල් මිලියන 1,484.9කින් වැඩිවී තිබුණි.
මෙකී ඇළ මාර්ගය මීටර් 13ක පළලට විවෘතව සකස් කිරීමට සැලසුම්කොට තිබුණ ද පසුව උපදේශන සමාගම විසින් ඇළ මාර්ගය මීටර් 10ක පළලට ඇළ මාර්ග 02ක් ලෙස සංවෘතව කොන්ක්‍රීට් යොදා සකස් කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව සැලසුම් වෙනස් කිරීම හේතුවෙන් කොන්ක්‍රීට් ඝන මීටර් 45,425 ක් අතිරේකව යොදා තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 1,245.54ක මුදලක් අතිරේකව වැයවී තිබුණි. මෙහිදී උපදේශක සමාගමේ නිර්මාණ සැලසුම් කිරීමේ ප්‍රවීණත්වය අභියෝගයට ලක්ව ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද