මැරුණේ බෙහෙත් නිසා ද සොයන්න පංච පුද්ගල කමිටුවක් පත් කරන්න – කාවින්දලාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

171

නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ වර්ග ආනයනය නොකිරීම නිසා සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළත් පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන හා හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (31දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මිය මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම මෙරටට ආනයනය කරනු ලබන සියලුම ඖෂධවල තත්ත්වය හා ප්‍රමිතිය ආරක්‍ෂා කිරීම, ඒවා ලියාපදිංචි කිරීම, නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබාදීම, මිල නියම කිරීම හා ගබඩා කිරීම සඳහා අවසර ලබාදීම ඇතුළු වගකීම හා බලය ජාතික ඖෂධ නියමන අධිකාරිය වෙත පැවරී ඇති බව පෙත්සම්කරුවන් එමඟින් පෙන්වාදී තිබිණි. පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ලද නිර්වින්දන ඖෂධ වර්ග කිහිපයක් හා අක්‍ෂි ඖෂධ වර්ගයක් නිසා රෝගී මරණ සහ රෝගීන්ට විවිධ සංකූලතාවලට මුහුණ දීමට සිදුවූ බවත් පෙත්සම්කරුවන් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ. නමුත් එම ඖෂධ හා නිර්වින්දන එන්නත් භාවිතයෙන් සිදුවූ මරණ හා රෝගී සංකූලතා සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි පෙත්සම්කරුවන් එම ඉල්ලීම කරමින් අධිකරණයට කියා තිබේ. එබැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වීමට බලධාරීන්ට නියෝගයක් කරනා ලෙසත් එකී විමර්ශන වාර්තාව අධිකරණය හමුවට කැඳවා වගකිවයුත්තන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසටත් එමඟින් ඉල්ලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගේ එකී ක්‍රියාකලාප නිසා තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා නියෝගයක් නිකුත්කරනා ලෙසට ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment