අයෙක් මරුට
ලොරිය අඩි 12 ක ප්‍රපාතයක
මින්නේරිය – සුසිල් කරුණාතිලක
හබරණ, මින්නේරිය ප්‍රධාන මාර්ගයේ හතේ කණුව, දේවාල හන්දිය ආසන්නයේදී කොස් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක පිටුපස ගමන් ගත් පුද්ගලයකුට උදෑසන 7.30 ට පමණ වන අලියකු පහර දීමෙන් ලද තුවාල හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. මෙසේ මරුමුවට පත්ව ඇත්තේ පොලොන්නරුව හතර ඇළ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ රණවීර බණ්ඩා නමැති 67 හැවිරිදි එක් දරු පියෙකි. පොලොන්නරුවේ හතර ඇළ පදිංචි පුද්ගලයන් තිදෙනකු බට්ටා වර්ගයේ කුඩා ලොරියක කොස් ගෙඩි 130 ක් සහ කෙසෙල් කැන් තොගයක් පටවා ගෙන දඹුල්ල වෙළඳපොළට යන අතරතුරදී හතේ කණුව දේවාලය අසල ඇති කුඩා කන්ද ධාවනය කිරීමේදී වාහනයේ වේගය අඩුවී ඇති අතර එම අවස්ථාවේදී හබරණ රක්ෂිතයේ ගැවසුණු වන අලියකු ලොරිය පිටුපසට පැමිණ ලොරියට හොඬ වැල දමා ලොරිය පිටුපසට ඇද ඇත.
මේ බව දුටු ලොරියේ රියැදුරා ලොරියේ අත්තිරිංග හිරකර ලොරියේ ඉදිරි අසුනේ සිටි කොස් තොගයේ අයිතිකාරයා සමග ලොරියෙන් පැන ඉවතට දිව ගොස් ඇත.
මිය ගිය තැනැත්තා ලොරියේ පිටුපස ගොස් ඇති අතර අලියා ලොරිය පිටුපසට අදිද්දී ඔහු ලොරියෙන් වැටී ඇත. ඒ අවස්ථාවේදී අලියා ඔහුට පහර දී ඇත.
තිරිංග ගසා නවත්වන ලද ලොරිය අලියා විසින් මද දුරක් ඇද ඇති අතර ඒ අවස්ථාවේදී ලොරිය පාරෙන් ඉවතට පැන අඩි දොළහක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇත.
පසුව අලියා පාරේ ගමන් ගන්නා යතුරුපැදිකරුවන් පසුපස ද පැන්නීමට පටන් ගෙන ඇති අතර මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මින්නේරිය පොලිසියේ නිලධාරීන් හා වන ජීවී නිලධාරින් එක්ව අලි වෙඩි දමා අලියා කැලේට පන්නා ඇත.
පොලොන්නරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ මග පෙන්වීම මත හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතාගේ මෙහෙයුම මත මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුසිල්, සැරයන්වරුන් වන මනම්පේරි (70516), සංජීව (63327) සහ වීරසූරිය (57591) යන මහත්වරුන් පිරිස වැඩිදුර පරීක්ෂණ පවත්වති.