කොළඹ මැයි රැලියක් පවත්වන්න බැරි විපක්ෂයට අනාගතයක් නෑ – වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්

9

විරුද්ධ පක්ෂවලට කොළඹ මැයි රැලියක් පවත්වන්න බැරි තත්ත්වයට පත්ව ඇති බවත්, ඔවුන්ට අනාගතයක් නැති බවත් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ඊයේ (01දා) පැවසීය.

“වැඩ කරන පන්තියේ බලයක් උදෙසා එක්සත්ව පෙළගැසෙමු” යන තේමාව යටතේ වෘත්තීය සමිති 28ක සහභාගිත්වයෙන් ඊයේ (01දා) කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන රැලියට සහභාගි වෙමින් මාකස් මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේය.

වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයන් විසින් මැයි දින පෙළපාළිය කොටුව දුම්රියපළ ඉදිරිපිටින් පිටත්වී පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයට පැමිණ මැයි දින රැලිය ආරම්භ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මාකස් මහතා මෙසේද කීය.

139 වැනි කම්කරු දිනය සමරන්නේ ලෝකයේ බරපතළ අර්බුද ඇතිව පවතින කාලයකයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ රටවල්වලට පැනවූ බදු වැඩිකර තිබෙනවා. එය අපේ රටට සියයට 44 දක්වා වැඩි කරලා. චීනයට එය සියයට එකසිය හතළිස්පහ කරලා (145%). ට්‍රම්ප් මහත්තයා කියන්නේ ඇමරිකාවේ අයවැය ශීර්ෂය අතර ගත්තම වැය ශීර්ෂය වැඩිවෙලා කියලයි. එය පියවීමට බදු පැනෙව්වා කියනවා. ට්‍රම්ප් කියන්නේ ඇමරිකාව ටි්‍රලියන ගණනක් වැයකලාට රටට ලැබෙන අය ඉන් තුනෙන් එකක් පමණයි කියලයි. ඇමරිකාව ටි්‍රලියන ගණන් වැය කළේ අපේ වගේ රටවල්වලට නෙමෙයි. ඒ අයවැය කරල තියෙන්නේ යුද්ද සඳහා කියලා අපි කියනවා.

ඒ නිසා අපි ට්‍රම්ප් මහත්තයට කියනවා ඔයාගේ අධිරාජ්‍යවාදී ලිබරල් ආර්ථිකය ඉවරයි කියලා. ඕක අපි මීට කලිනුත් කියලා තියෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග නිසා පීඩිතයන් බවට පත්වන්නේ අපි වගේ කුඩා රටවල ජනතාවයි. ඇමරිකාවේ බදු වැඩිකරනවා කියපු ගමන් අපේ ඇඟලුම් වැහෙන තත්ත්වයට පත්වුණා. දැන් මාස තුනකට ට්‍රම්ප්ගේ බදු වැඩිකිරීම අත්හිටවූ බවට ප්‍රකාශවීමත් සමග අපේ හාම්පුතුන් මෙතෙක් සිදුකරගෙන ගිය නිෂ්පාදනයන් වැඩිකරන්න කියලා සේවකයන්ට බලපෑම් කරන බවට වාර්තා වෙනවා. ආණ්ඩුව මේවා ගැන බලන්න ඕන.

කොළඹ මැයි රැලියක් පවත්වන්න බැරි විපක්ෂයට අනාගතයක් නෑ - වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්

අපි ආණ්ඩුවට කියනවා රිළව් සංගණනය කළා වගේ රටේ අර්බුද විසඳන්න බැහැ. මේ ආණ්ඩුවට මේ රටේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරිවෙලා තියෙනවා. විසඳුම් සොයන්න සියලු පාර්ශ්ව එකතු කරගත යුතුයි. ඇමරිකාවේ බදු වැඩිකිරීම ගැන සොයන්න ආණ්ඩුවේ සහ හාම්පුතුන්ගේ කමිටුවක් පත්කරල තියෙනවා. මේකෙන් විසඳුම් ලැබෙන්නේ නැහැ. මෙයට විසඳුම් සොයන්න තවත් පාර්ශ්ව එකතු කරගත යුතුයි.

අද රටේ විරුද්ධ පක්ෂයට කොළඹ රැලියක් සංවිධානය කරගන්න බැරිවෙලා තියෙනවා. එයින් ඔවුන්ට අනාගතයක් නැති බව පෙන්වලා තියෙනවා. අපි කොළඹට ඇවිත් මේ කම්කරුවගේ දිනය කියලා ආණ්ඩුවට පෙන්නුවා. අපි කියනවා පවතින අර්බුදවලට විසඳුම් සොයන්න. කිසිම සේවකයෙක්ගේ රැකියා අහිමිකරන්න දෙන්න එපා කියලා. කොවිඩ් කාලේ 150,000කට පමණ රැකියා අහිමිවුණා. GSP සහනය ලැබුණත් එය ලබාගත්තෙත් හාම්පුතුන් විසින්මයි.

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා

විපක්ෂයට කොළඹ මැයි රැලි පවත්වන්න බැරිවුණේ ආණ්ඩුව ප්‍රශ්න විසඳලා නිසා නෙමෙයි. ඒ අයගේ නොහැකියාව නිසයි. වෘත්තීය සමිති එහෙම නෙමෙයි මැයි දින පවත්වන තෙක් අපි කොළඹ මැයි දින සැමරුම් පවත්වනවා. 2020-21 අරගල නිසා රටේ පාලන බලය වෙනස් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආවා. මාස හයක් ගතවුණා. තාම ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වුණාද කියලා කල්පනා කරන්න වෙලා තියෙනවා.

රට බංකොලොත් කළේ කවුද? ඒ අය අත්අඩංගුවට ගන්නවා. හොරකම් කරපු ධනය මහජනතාවට ලබාදෙනවා කිව්වා. ඒ කිව්ව ප්‍රකාශ අනුව සිදුවෙලාද කියලා අපි අහනවා. මේ රටට එන්න ඕන ඩොලර් බිලියන ගණන් රටට ගේනවා කිව්වා. ඒවා ගෙනාවද කියලා අහනවා. ඒ වගේම මේ රජයේ මූල්‍ය මණ්ඩලය රාජ්‍ය බැංකු දෙකක් මරණයට පත්කරන්න උත්සාහ දරනවා. එහෙම කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳන්න බැරිනම් පාරට බැහැල විසඳගමු කියනවා.

තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල ජයසුන්දර මහතා-

ජනතාවගේ කරමතින් පැමිණි ආණ්ඩුවක් පවතින විට ඇතැම් කම්කරුවන් මෙතන නැහැ. අපේ පවතින වෘත්තීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න අපි උත්සාහ දරනවා. සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න බැරිනම් අපි ආණ්ඩුවට රතු එළියක් දල්වනවා. ඒ වගේම කම්කරුවා නැති බලයට ඒමට උපකාර කළ ඉණිමගට පයින් ගහන්න එපා කියලත් කියනවා.

පසුගිය ආණ්ඩු කම්කරුවන්ට සැලකුවෙත් නැහැ. අපි ඡන්දය දීලා පත්කරන රජයන් කම්කරුවට විරුද්ධ වෙනවා. කොයි රජය පත්වුණත් එහෙමයි. තැපැල් සේවකයන්ගේ ගැටලු වසර 08කින් විසඳලා නැහැ. මේ ආණ්ඩුවත් අපේ ප්‍රශ්න සැහැල්ලුවෙන් බලනවා නම් අපි බලය පෙන්වන්න පාරට බහිනවා. 2016 ඉඳලා තැපැල් සේවයට බඳවාගෙන නැහැ. සිටින සේවකයන්ගේ උසස්වීම් දීලා නැහැ.

ඡායාරූප – සුජාතා ජයරත්න
චමින්ද සිල්වා


advertistmentadvertistment