මහින්ද – බැසිල් වචනයක් දෙන්න තවත් කල් ඉල්ලයි

3336

පැජට් නිවසේදී ජනපති සමග පුද්ගලික උණුසුම් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්නේද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් අනුව ඉදිරියේදී තීරණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පසුගිය 07 වැනිදා පස්වරු 7 ට පමණ එම සාකච්ඡාව පවත්වා ඇත. එම සාකච්ඡාව පැය එකහමාරක පමණ කාලයක් පවත්වා ඇති බවත් වාර්තා වේ.

එම හමුවේ දී මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව පෞද්ගලීකරණය සහ බලය බෙදීම සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයන්ට පටහැනි බවත් දැනුම් දී ඇත.

එහිදී තවදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යන බවත් ඉදිරියේ දී හෝ එක්වීමට බාධාවක් විය හැකි කටයුතුවලින් වැළකෙන්නේ නම් සුදුසු බවත්ය.

එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් එලෙස කටයුතු කරන්නේ කවුද යන්න විමසා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඊට සිනහවකින් පමණක් ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වේ.

එහි දී තවදුරටත් අදහස් දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමෙන් පලක් නොවන බවත් අවසන් තීන්දුව ගන්නේ පක්ෂය විසින් බවත් පැවසූ බව වාර්තා වේ.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment