ගංගා රැකවල්ලු

32

ලෝකයේ වැඩිම ජනගහනයක් දරාගෙන සිටින සහ ශීඝ්‍රයෙන් ආර්ථික සංවර්ධන ඉලක්කයන් සාධනය කරගනිමින් සිටින ඉන්දියාවේ බොහෝ ගංගා දේවත්වයට ඔසවා තැබූ පූජනීය ගංගා. නමුත් මේ ගංගා බොහොමයක් දූෂණය වෙලා. ඒවායේ ජෛව විවිධත්වය වගේම පැවැත්මත් තර්ජනයට ලක්වෙලා. මේ ගංගා පද්ධති ආරක්ෂා කරගන්න ඉන්දියාව දීර්ඝ කාලයක් තිස්සේ සටන් කරනවා.

“ඉන්දියාවේ කලින් පැවැති ක්‍රියාකාරී සැලසුම් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර දුන්නේ නැහැ. ඒ නිසා 2014 වසරේ දී “The National Mission for Clean Ganga” ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ ව්‍යාපෘතිය අපේ අගමැතිතුමාගේ අදහසක්. මෙහි දී ප්‍රධාන කාර්යය කරන්නේ ප්‍රාදේශීය ප්‍රජාවන්. ඔවුන් ගංගා භාරකරුවන් (Ganga Prahari) ලෙස ස්වෙච්ඡාවෙන් ගංගා රැකගැනීම වෙනුවෙන් සේවය කරනවා.’ ඔවුන්ගේ අරමුණ ගංගාවේ අඛණ්ඩ ගලා යෑම සහ පවිත්‍රතාව (Aviral and Nirmal Dhar) සහතික කිරීම”

මෙහෙම කියන්නේ ඉන්දියාවේ පූජනීය ගංගා නම් ගඟ (River Ganga) සංරක්ෂණය කිරීම සඳහා නිර්මාණය කරන ලද ගංගා භාරකරු (Ganga Prahari) වැඩසටහනේ නායිකාවක වන ආචාර්ය රුචී බන්ඩෝලා (Dr. Ruchi Bandola). ඇය ඉන්දීය වනජීවි ආයතනයේ මහාචාර්යවරියක් ද වනවා.

“ප්‍රාදේශීය ප්‍රජාවන් අතර ඉන්නවා වැඩක් කරන්න වුවමනාව ඇති, දෙයක් කළ හැකි පිරිස්. නමුත් ඔවුන් දන්නේ නැහැ කරන්නෙ මොකක් ද? කොහොම ද කරන්නේ? ඒ සඳහා ප්‍රවේශ විය යුත්තේ කා වෙත ද? කියන එක. අපි ආමන්ත්‍රණය කළේ ඔවුන්වයි. ඔවුන් ගංගා භාරකරුවන් විදියට පුහුණු කළා. දැනුම ලබාදුන්නා. දැන් ඔවුන් ප්‍රාදේශීය මට්ටමේ සක්‍රීය ප්‍රජා නායකයන්, ජෛව විවිධත්වය පර්යේෂකයන් සහ ගංගා ආරක්ෂකයින් ලෙස ගොඩනැගී තිබෙනවා. හාර දහස් පන්සියයක් පමණ ගංගා භාරකරුවන් දැන් අපට සිටිනවා. ඉන් සියයට පනහක් පමණම කාන්තාවන්. මම ඒ ගැන ආඩම්බර වෙනවා” ආචාර්ය රුචී ඔවුන්ගේ ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රවේශය පැහැදිලි කරන්නේ එහෙමයි.

“Ganga Prahari” වැඩසටහන මේ වනවිට ඔවුන් තවත් පුළුල් කර තිබෙනවා.

“අවුරුදු 18ට අඩු අය වෙනුවෙන් ‘Bal Ganga Prahari’ (ළමා ගංගා රැකවළුන්) නමින් වැඩසටහනක් අපි ආරම්භ කළා. පාසල් සිසුන් මෙහි ප්‍රධාන ඉලක්කය. ඔවුන් හරහා පවුල් දහස් ගණනකට අපේ වැඩසටහන අරන් යන්න හැකි වෙලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් “Pravasi Ganga Prahari” (විදෙස් ගංගා රැකවළුන්) වැඩසටහනත් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ලෝකයේ ඉන්න ඕනම කෙනෙකුට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ලෝකයේ සෑම ගංගාවකටම රැකවරණය අවශ්‍යයයි.” ආචාර්ය රුචී කියනවා.

මේ ලියමන ලියන හරිත පුරවැසියටත් අවස්ථාවක් ලැබුණා මේ ගංගා භාරකරුවන් විසින් සංවිධානය කළ ප්‍රදර්ශනයකට සහභාගී වෙන්න. මේ ප්‍රජාව කොතරම් සක්‍රීයව සහ නිර්මාණශීලීව මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තිබුණ ද කියන එක අත්විඳින්න එහි දී හරිත පුරවැසියට හැකි වුණා. ඔවුන් තමන්ගේ සංස්කෘතික විවිධත්වය සහ අනන්‍යතාවයන්, ගඟ සමඟ ඔවුන්ගේ දෛනික ජීවිතයේ බැඳීම, ගංගාවල ජෛව විවිධත්වය ආදී සෑම සියුම් තැනක්ම ස්පර්ශ කිරීමට සමත් වෙලා. ඔවුන් නමට ගැලපෙන අයුරින්ම ගංගා භාරකරුවන් ලෙස ගොඩනැගී තිබෙනවා.

“ගංගා භාරකරු (Ganga Prahari) වැඩසටහන මට බොහෝ දේ උගන්වා තිබෙනවා. ඒකාබද්ධතාව, නායකත්වය, සහ විවිධ ස්ථාන, විෂයන් සහ ක්‍රියාකාරකම් පෙළගැස්වීම ආදිය ගැන. අපගේ’ සාර්ථකත්වයේ අත්දැකීමෙන් මට ඔබට කියන්න තිබෙන්නේ කෙතරම් බාධක හමුවුවත් දිගටම ගලාගෙන යන්න හරියට ගංගාවක් වගේ. නිසැකවම ඔබට අරමුණට යා හැකියි.” ඇය මෙසේ අවධාරණය කරන්නේ ගංගා සංරක්ෂණය සඳහා ප්‍රජාව පාදක කරගත් වැඩසටහනේ සාර්ථකත්වය අත්විඳිමිනුයි.

“මම මූලිකවම ආර්ථික විද්‍යාඥවරියක්. මම ඉන්දීය වනජීවී ආයතනයට බැඳුණම බොහෝ දෙනෙක් ඇහුවා” ඔයා ඔතනට ගිහිං මොනව කරන්න ද? කියලා. ඔයා සත්තු ගස් කොළන් ගැන මොකුත් දන්නේ නෑනේ. ඇත්තටම මම ඒ මොකුත් දැනගෙන හිටියේ නෑ. මටත් සමහර වෙලාවට වරදකාරී හැඟීමක් දැනුණා. මගේ සගයන් ගස් කොලන්, කොටින්, අලින්, හිම දිවියන් සම්බන්ධයෙන් ඉන්දියාවේ විවිධ තැන්වල වැඩ කරන කොට මම ඔවුන් සමග ගිහිං

ඔවුන්ගෙන් දේවල් අසා දැන ගත්තා. ගම්වල මිනිස්සුත් එක්ක කතා කරලා දේවල් අවබෝධ කරගත්තා. අපි ගොඩනැගුණේ එහෙමයි. අද සමස්ත ක්‍රියාවලියම වෙනස් වෙලා. ඔබ හැමෝටම මේ අවස්ථාව තිබෙනවා”

ඉන්දීය වනජීවී ආයතනයේ පීඨාධිපතිවරියක් වන ඇය මේ කියන්නේ ඇගේ කතාව. අපේ රටෙත් වනජීවී සංරක්ෂණය තමන්ගේ බූදල් විදියට බදාගෙන ඉන්න ඊනියා උගතුන් සහ පර්යේෂකයන්ටත් මේ කතාව ඇහෙනවා නම් හොඳයි.

මම හිතන්නේ මේ ඉන්දීය වැඩසටහනෙන්’ අපටත් යමක් ගත හැකියි. සියලු දේම ආණ්ඩුවෙන්ම කරල දෙනකල් බලාගෙන ඉන්න ජනතාවක්, සියලු දේ සඳහාම තමන් මතම යැපිය යුතු යැයි සිතන නිලධාරීන් සහ සෑම විටම මුල්තැන තමන් විය යුතුයැයි සිතන උගතුන් සහ දේශපාලකයන් වෙනුවට මෙවැනි ස්වෙච්ඡා ගංගා භාරකරුවන් ගැන අපට සිතිය නොහැක්කේ ඇයි?

ශ්‍රී ලංකාවේ විවිධ භූගෝලීය කලාපවල නම්විධ සංස්කෘතීන් සහ අනන්‍යතාවයන් තියෙන මේ රටේ සෑම පුරවැසියෙක්ම අපේ ගංගාවන් රකිනා ගංගා භාරකරුවන් විදිහට ගොඩනැගෙන දිනක අපේ ගංගාවල තිරසර පැවැත්ම තහවුරු වේවි. භාරකරුවන් (Guardians) කියන්නේ අයිතිකරුවන් (Owners) නොවෙයි. භාරකරුවන් පෙර පරම්පරාවෙන් උරුමයන් භාර අරගෙන ඒවා තිරසරව උපයෝජනය කරලා ඊළඟ පරම්පරාවට නැවත සුරක්ෂිතව භාරදීමේ වගකීමෙන් බැඳී සිටිනවා. “මහ රජ ඔබ මේ භූමියේ භාරකරු මිස අයිතිකරු නොවේ” ක්‍රි.පූ තුන්වන සියවසේ දී මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුට පැවසුවෙත් මේ කතාවමයි. අපට අයිතියක් හා යුතුකමක් නැහැ ආත්මාර්ථකාමී සහ නාස්තිකාර ලෙස සියල්ල දූෂණය කර විනාශ කර දාන්න. අපි අපේ ගංගා ගැනත් සිතිය යුත්තේ එහෙමයි. අපි, අප ජීවත් වන ගංගා ද්‍රෝණියේ භාරකරුවන් වෙමු. අපේ උරුමය රැකගනිමු.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment