ගංවතුරේ බෝට්ටු පදින්න ගිය තරුණයා විදුලිසර වැදී මියයයි

716

ගංවතුරේ බෝට්ටු පැදීමට ගොස් බෝට්ටුව පදින රිට අධිබලති විදුලි රැහැනක ගැටීම නිසා විදුලිසර වැදුණු තරුණයකු ඊයේ (03) සවස මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි ලොකුසිංහ ආරච්චිගේ දමිත් කුමාර නමැති 21 හැවිරිදි තරුණයෙකි. මේ දිනවල දිවයිනේ පවතින දැඩි වර්ෂාපතන කාලගුණ තත්ත්වය හේතු කොටගෙන බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර බෝට්ටුවක නැගුණ පිරිසක් එහි මේ ආකාරයට විනෝද වෙමින් ගමන් කර ඇත. මියගිය තරුණයාගේ මූලික මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් බෝට්ටුවේ ගමන් කළ අත්තනායක ලියනගේ ප්‍රභාත් මධුසංක මෙසේ පැවසීය.

“අපේ බෝට්ටුවේ විසිදෙනෙක් පමණ සිටියා. අපි ගංවතුර බලන්න බෝට්ටුව පැදගෙන ගියා. දිග රිටක් ආධාරයෙන් තමයි බෝට්ටුව පදවාගෙන ගියේ. උදේ ඉඳලා බෝට්ටුව පදවපු කෙනාට අමාරුයි කියලා දමිත් බෝට්ටුව පදවපු රිට ඉල්ල ගත්තා. දමිත් ටික දුරක් රිට ඇන ඇන බෝට්ටුව පැදගෙන ගියා. එකවරම රිට උස්සනකොට අධිබලැති විදුලි රැහැනක වැදුණා. ඒ එක්කම දමිත්ව ගංවතුරට වැටුණා. මම වතුරට පැනලා දමිත්ව ගොඩ අරගෙන රෝහලට ගෙනාවා.”

බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක චිරාත් භාරත මහතා විසින් බුලත්සිංහල රෝහලේදී මූලික මරණ පරීක්ෂණය පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යැවීමට නියෝග කර ඇත.

පවත්නා ගංවතුර තත්ත්වය මත බුලත්සිංහල හොරණ මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර වී තිබීම නිසා මෘතදේහය හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ගෙන යෑමට අපහසු වී තිබේ.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න, බුලත්සිංහල – එම්. ආර් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment