ග්‍රහලොව රණ ශූරයා තමාගේ භවනට!

5568

දේශපාලනයේ වෙනස්කම් රැසක්
ලග්න හයකට ධන යෝග

ශූරවීර රණකාමී අඟහරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව බලවත් වේ. අඟහරු මේෂ රාශියට වර්ෂ 2024ක්වූ ජුනි මස (1දා) සෙනසුරාදා සවස 3.36ට පැමිණෙයි. වර්ෂ 2024ක්වූ ජූලි මස 12වැනිදා දක්වා එම රාශිය තුළ බලවත්ව ගමන් කරයි.

  1. දේශපාලනයේ වෙනස්කම් රැසක් සිදුවීමට හේතුවන ග්‍රහ ගමනක් වෙයි.
  2. ශූරවීර බලවතුන් රජ මැතිඳුන් බිහිවෙන කාලයක් වේ.
  3. දේශපාලනයේ ප්‍රබලයෝ බලවත් වේ. හඬ ප්‍රබල වේ.
  4. උසස් නිල තනතුරු ගරු සැලකීම් ලබන්නට ඉහළින් වැජඹෙන්නට සිතන අයට තම අදහස් සඵල වෙයි.
  5. මහා ධන බලයක් ලග්න 6කට උදාවෙයි. ලග්න රැසකට පංච මහා පුරුෂ යෝග බලය උදාවෙයි.
  6. ශූරවීර බලවතුන් රජ මැතිඳුන් ප්‍රබල ක්‍රීඩකයන් දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරු දක්ෂ ඉංජිනේරුවන් බිහිවෙන ශුභ කාලයක් වෙයි.

මේෂ ලග්නය

ඔබගේ කේන්ද්‍රයේ ලග්න භාවයට අඟහරුගේ පැමිණීම අනුව හිතට එඩිතර බව උද්යෝගය හා අතපසූ වී ගිය වැඩ කඩිනමින් කරන්නට සිතේ. දේශපාලනය නිරත අයට වෙළෙඳාම් ව්‍යාපාර කරන අයටත් ශුභයි.

ක්‍රීඩා කරන අයට ජය අත්වන බලය උදාවේ. තරමක් කේන්ති යන බවක් මතු වූවත් හිත හොඳකම ඇතිවේ. තමාට ප්‍රධාන තැන හිමිවන බලයක් ඉස්මතු වෙයි. වෙනත් දරුණු අපල නැතිනම් ශුභයි. අතගසන යහපත් දේ හරියන කාලයයි. රෝග ලෙස උදරයේ ආමාශගත රෝග හා ඇඟ උෂ්ණ රෝග රක්ත රෝග මතුවෙයි.

වෘෂභ ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 12 වැන්නාට අඟහරුගේ පැමිණීම ඔබට තරමක් බාධා මතුවෙයි. වියදම් තත්ත්වය ඉහළ යනු ඇත. නිතී ප්‍රශ්නවලට මැදිවීම සහ යාළුවන් නිසා ප්‍රශ්න මතු වීමට ඇත. හිතවතකුගේ රෝහල් ගතවීමක් හෝ රෝගී තත්ත්වයක් ගැන තමාට දැනගන්න ලැබෙනු ඇත. දුර බැහැර ගමන් යෙදේ. විදේශ ගමන් පවා යෙදීමට කරුණු උදාවේ. මෙම ග්‍රහ මාරුව ඔබට ගුණ අගුණ මිශ්‍රවෙයි. රෝග ලෙස උදරයේ ආමාශ රෝග හා තුනටියේ රිදීම් මතුවීමට ඇත.

මිථුන ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 11 වන භාවයට අඟහරුගේ පැමිණීම ධන බලයක් උදාවේ. හදිසි ධන ලාභ ලැබීමට හේතුයි. රහස් සතුරන් පරාජය කර ජය අත්වේ. අඟහරු බලවත්ව කේන්ද්‍රය තුළ පිහිටා ඇතිනම් ධනය බලය හිමිවෙයි. පොළොව සම්බන්ධව කරන වගා කටයුතුවලටත් යහපත් වෙයි. ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක් වෙයි. රෝග ලෙස පපුවේ නහරවල වේදනා හා දෙපාවල වේදනා රිදීම් මතුවීමට ඉඩ ඇත.

කටක ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 10 වැන්නට අඟහරුගේ පැමිණීම ඔබට බලයක් ලබාදෙයි. වෙළෙඳාම්, ව්‍යාපාර කරන අයට ශුභවේ. ධන බලය වැඩි වෙයි. වාහන මිලදී ගන්නට වාහන වෙනස් කිරීම්වලට යහපත් වෙයි. උනන්දුව උද්යෝගය වෙනදාට වඩා වැඩි වෙයි. කේන්ද්‍රය තුළ දෝෂ නැතිව අඟහරු බලවත්ව උපත ලබා ඇති නම් ඔබට බලාපොරොත්තු නොවූ සහනයක් දියුණුවක් හිමිවෙයි. රෝග ලෙස මුත්‍රාවල දෝෂ, වකුගඩුවල දෝෂ හා පපුවේ හිරවීම් මතුවීම් හා සෙම්අමාරු මතුවෙයි.

සිංහ ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 09 වැන්න හෙවත් පූණ්‍ය ස්ථානයට අඟහරුගේ පැමිණීම ශුභ වේ. යහපත් වේ. ප්‍රබල විදේශ ගමන් හා තමාට වාසිවන දුර ගමන් යෑමට ශුභවේ. පෙර පිං බලය බලවත්වේ. දේව බලය හෙවත් කතරගම දෙවිගේ බැල්ම ඇති වෙයි. තරහකරුවන් මිතුරු වන්නට බලයි. අලුත් හිත මිතුරුකම් ඇති වෙයි. ඉගෙනීමේ ජය, විදේශ ගතව ඉගෙනීමටත් ශුභයි.රෝග ලෙස මුත්‍රාවල හා තුනටියේ රිදීම් දෝෂ මතුවේ. ඇස්වල හා දත්වල වේදනා ඒමට ඇත.

කන්‍යා ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 08 වැන්න වන මාරක ස්ථානයට අඟහරුගේ පැමිණීම අශූභයි. හදිසි විපත්, ලේ සෙලවීම් හා උණු වතුරින්, ගින්දර, විදුලියෙන්, ලිස්සා වැටීමෙන් ආරක්ෂා වන්න. රහස් සතුරු කරදර මතු වේ. දෝෂාරෝපණ ඒමට ඇත. අඟහරුගේ දශාව ගත කරන අයට අශුභයි. මාරකයි. එසේ නැතිව බුධ හා සිකුරු දශා ගත කරන අයට තද බල අපලයක් නැත. කරදර පවා අඩුයි. රෝග ලෙස මුත්‍රාවල අසාදන හා වකුගඩුවල දෝෂ හෝ දෙපාවල රිදීම් ඒමට ඇත. ප්‍රේත දෝෂ පවා ඒමට ඇත.

තුලා ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 07 වැන්නාට අඟහරුගේ පැමිණීම ගුණ අගුණ මිශ්‍ර වේ. ඔබගේ හොඳ හිත යහපත් ගතිගුණ මත හැමදේම යහපත් ව සිදුවේ. කලබල වීමෙන් හිතවත් අය අමනාප වීම් ඇත. හිතා බලා කටයුතු කරන්න. ධන බලයක් ද උදා වේ. නොදුන් ණය මුදල් ලබාගැනීමටත් යහපත් වෙයි. බුධ හා සිකුරු ග්‍රහයන් බලවත් නම් ගුණ වැඩි වෙයි. රෝග ලෙස බඩේ ආමාශ ගත රෝග හා මුත්‍රාවල ආසාදන තුනටියේ රිදීම් ඒමට ඇත.

වෘශ්චික ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 06 වැන්නාට අඟහරුගේ පැමිණීම ඔබට සතුරන් පරාජය කිරීමෙන් ජය ගන්නට අවස්ථාව උදා වෙයි. ප්‍රබල විදේශ ගතවීම් ද උදා වෙයි. හිතවත් අය සමග කරන ගනුදෙනුවලින් වාසී ඇති වෙයි. දුරගමන් වන්දනා ගමන් යෑමට අවස්ථාව උදා වෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි. විදේශගතව ඉගෙන ගන්න අයටත් ශුභයි. වහා කේන්ති යෑම ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කරන්න. රෝග ලෙස පපුවේ රිදීම් හෝ උදර රෝග මතු වීමට ඉඩ ඇත.

ධනු ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 05 වන භාවයට අඟහරුගේ පැමිණීම අනුව ඉගෙන ගන්නා අයට යහපත්වේ. ඉංජිනේරු හෝ කාර්මික විදුලි අංශයේ පරිගණක අංශයේ රැකියා කරන අයට යහපත්වේ. නීති ගරුකව සාදාරණව තමා වැඩ කරයි. වාහන මිලදී ගන්නටත් ශූභයි. විදේශ ගතව ඉගෙන ගන්නා අයටත් යහපත් වෙයි. හොඳ රැකියා ලාභ හිමිවීමේ වරම් ලැබෙන කාලයක් වෙයි. රෝග ලෙස බඩේ උෂ්ණ රෝග මතුවේ.දෙපාවල රිදීම් හා තුනටියේ රිදීම් මතුවෙයි.

මකර ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 04 වැන්නට අඟහරුගේ පැමිණීම අනුව ගෙදර දියුණුවට කටයුතු කරන්නට අවස්ථාව උදා වෙයි. වෙනදාට වඩා උනන්දුව ඇති වේ. වියදම් තත්ත්වය තරමක් ඉහළ ගියත් ධන බලය ඇති වෙයි. වාහන මිලදී ගන්නට ඉඩම් හෝ වටිනා දේ මිලට ගන්නටත් ශුභයි. ගෙදර දියුණුවට කටයුතු කරයි. නව නිවාස ඉදි කරන්නට අදහස් පහළ වෙයි. රෝග ලෙස ඇස්වල හෝ උගුරේ දෝෂ මතුවීමට ඇත. දෙපාවල නහරවල වේදනා ද ඒමට බලයි.

කුම්භ ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ 03 වන භාවයට අඟහරුගේ පැමිණීම යහපත් වේ. මධ්‍යස්ථයි. සහෝදරයන් සමග මත වාද ඇති වුවත් ඒවා සම්මතයට පත්වෙයි. හිතවතුන් උදව් කරයි. ඉගෙන ගන්නා අයටත් ශුභවේ. වෙළෙඳාම් කරන අයටත් යහපත් වේ. තමාට හිතන දේ කරන්නට බලයි. නමුත් ඉවසීමෙන් කටයුතු කරන්න බොහෝ ගුණ ලැබීමට ඇත. රෝග ලෙස මුත්‍රාවල හා තුනටියේ දෝෂ ඒමට ඇත. ඇස්වල වේදනා මතුවීමට ඇත.

මීන ලග්නය

ඔබගේ කේන්ද්‍රය තුළ අඟහරු ග්‍රහයා 02 වැන්නට පැමිණීම පෙර පිං බලයක් ඉස්මතු වීමක් වෙයි. කතරගම දෙවි හෝ කඩවර දෙවි, විෂ්ණු දෙවි වන්දනා මාන කරන අයට බලය වැඩිවේ. හසිදි ධන බලයක් උදාවේ. කතාවේ බලය ඉස්මතු වේ.

කතාවට පිට අය මෙල්ල වීමට හෝ කීකරු වීම හෝ තමාගේ වචනය පිළිගැනීමට කරුණු උදා වෙයි. ඉගෙන ගන්නා අයටත් ශුභයි. රෝග ලෙස ඔ`ඵවේ වේදනා රිදීම් මතු වීමට ඇත. වරින්වර සෙම් රෝග ඒමට ඇත.

අඟහරු මේෂ රාශි ගත වනවිට ඔබට එම ග්‍රහයා ශුභව බලවත්ව ඔබගේ කේන්ද්‍රයට අනුව ශුභ වී සිටී නම් ඔබට බොහෝ ගුණ අත්වේ. අඟහරුගේ දශාව ලබා ඇත්නම් තවතවත් ගුණ දෙයි. වෙනත් ග්‍රහ දෝෂ ඇත්නම් ගුණ අඩුව යනු ඇත.

දෝෂ ඉවත්වීමට කතරගම දෙවිට රතු මල් හා කහමල් පූජා කරන්න. රතු නෙළුම් මල් 7- 21 පූජා කරලා තල තෙල් පහන් ද දල්වා පිංදී සෙත ලබා ගන්න. කතරගම් දෙවිට දේව පූජා තබා කඩවර පූජාවක් තැබීමත් යහපත් වෙයි.

ග්‍රහලොව රණ ශූරයා තමාගේ භවනට!

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විද්‍යා විශ්වකීර්ති
නිහාල් හේවාබටගොඩගේ
077 418 1943

advertistmentadvertistment
advertistmentadvertistment