ග්‍රාම නිලධාරී වැටුප් වැඩිවේ

644

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රුපියල් 28,940 සිට රුපියල් 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රුපියල් 38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය. අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රුපියල් 1500 සිට 3000 දක්වාත් වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වාත් ඉහළ නංවා ඇත.එය එය අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා 2025 අය-වැය පිළියෙළ කිරීමේද මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment