කෝටි 21ක කෘත්‍රිම මත් තොගයක් අත්අඩංගුවට

489


රුපියල් කෝටි 21 ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘත්‍රිම ගංජා සහ කෘත්‍රිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඊයේ හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ , මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කළ අතර , එහිදී කිලෝ ග්‍රෑම් 33 ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා කෘත්‍රිම ගංජා තොගයක් එහි තිබී සොයා ගැනීමත් සමග මෙම පුද්ගලයන් ද අත් අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින් , කොළඹ , පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ”‍ ශබ්ද වාහිනී ”‍ පද්ධති අලෙවි කරන වෙළඳ සැළක් තුළ තිබී රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කෘත්‍රිම ඇම්පටමයින් කුඩු කිලෝ ග්‍රෑම් 100 ක් පමණ ද අත් අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන් සමත් වී තිබුණි .
එසේම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත .

මෙම කෘත්‍රිම මත්ද්‍රව්‍ය කුඩු , කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල ”‍ සාද”‍ පවත්වන අවස්ථා වලදී භාවිතා කිරීම සදහා යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි , උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment