ගාමිණී-මහින්ද-වාසු පාර්ලිමේන්තු ඇවිත් අදට වසර 54යි

80

ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයින් තිදෙනෙකු පාර්ලිමේන්තුවට පත්වී අදට (මැයි 27ට) වසර 54ක් සපිරේ. හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරයකු මෙන්ම වෘත්තීය සමිති නියමුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා ප්‍රබල ඇමැති ධුර ගණනාවක් දැරූ ගාමිණී දිසානායක යන මහත්වරු මෙම දේශපාලනඥයෝ වෙති.

1970 මැයි 27 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් මෙම තිදෙනාම හාපුරාකියා පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස බෙලිඅත්ත අසුනින් වැඩි ඡන්ද 6626කින්ද, වාසුදේව නානායක්කාර මහතා ලංකා සමසමාජ පක්ෂයෙන් කිරිඇල්ල අසුනින් වැඩි ඡන්ද 6180කින් හා ගාමිණී දිසානායක මහතා එජාප අපේක්ෂකයා ලෙස නුවරඑළිය අසුනින් වැඩි ඡන්ද 2077කින් මෙලෙස තේරී පත්වූහ.

මෙම දේශපාලනඥයින් තිදෙනාගේ විශේෂත්වය වන්නේ තිදෙනාම ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් ලෙස තරඟ කිරීමයි.

මහින්ද රාජපක්ෂ මහතා 2005 හා 2010 ජනාධිපතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස තරඟ කරමින් ජයලබා ගත් අතර, ගාමිණී දිසානායක මහතා 1994 නොවැම්බර් 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමයෝජනා ලබාදී 1994 ඔක්තෝබර් 23 වැනිදා රාත්‍රියේ තොටළඟ ජනාධිපතිවරණ රැළියේදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඒ මහතා ඇතුළු 53ක් මරණයට පත්වූහ.

වාසුදේව නානායක්කාර මහතා 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රථම විධායක ජනාධිපතිවරණයේදී නව සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කරමින් මුළු ඡන්ද 17,005ක් ලබා පරාජයට පත්විය. යළිත් 1999 දෙසැ. 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයටද වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් තරඟ කරමින් ඒ මහතා මුළු ඡන්ද 23,668ක් ලබා පරාජයට පත්විය.

1970 මැයි 27 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වූ ලාබාලතම මන්ත්‍රීවරයා වූ අතර එවිට ඒ මහතාගේ වයස අවුරුදු 23කි. මහින්ද රාජපක්ෂ මහතා හා වාසුදේව නානායක්කාර මහතා සිය ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස පරාජයට පත් කළේ පිළිවෙලින් බෙලිඅත්ත අසුන දොස්තර රන්ජිත් අතපත්තු (එජාප) මහතා සහ කිරිඇල්ල අසුන දොස්තර ලෙනාඩ් කිරිඇල්ල (එජාප) යන වෛi වෘත්තිකයින් වීම තවත් විශේෂත්වයකි.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment