ගිනිමැල්ලගහ කසිප්පු වැටලීමේදී කඩු උස්සන් ආ පුද්ගලයාට පොලිසිය වෙඩි තබයි

18

ගාල්ල, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමකදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී 31 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා පෙරේදා (15දා) රෝහල්ගත කර තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ වැටලීම සඳහා ගිය අවස්ථාවේ මෙම සිද්ධිය වී තිබේ.

තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිසක් අතරින් බීමතින් සිටි අයකු කඩුවක් අතැතිව පැමිණ නිලධාරීන්ට තර්ජනය කර පහරදී තිබේ. එහිදී ආත්ම ආරක්‍ෂාවට වෙඩි තැබීමක් සිදු කළ බව පොලිසිය කියයි. එම පුද්ගලයාගේ දණහිසට පහළින් තුවාල සිදුවී තිබේ.

බද්දේගම පදිංචිකරුවකු වන තුවාල ලැබූ සැකකරු කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ද එම රෝහලේම ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේ සැකකරු සමග සිටි තවත් තිදෙනකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ. තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නරේන්ද්‍ර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා


advertistmentadvertistment