යහලතැන්නේ දඩයමේ ගිය හයදෙනා ළඟ
පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරීම සඳහා ගොස් සිටි පුද්ගලයන් හය දෙනකු ගිනි අවි පහක් ඇතුළු උණ්ඩ තොගයක් සමග පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම සැකකරුවන් මාවතගම, කොටිකාපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් බවට අනාවරණය කරගෙන තිබේ. එම සැකකරුවන් අතර මාවතගම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වතු අධිකාරිවරයකු, 71 හැවිරිදි ඉඩම් හිමි වැවිලිකරුවකු සහ 63, 55, 31 සහ 28 හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයන් හයදෙනෙක් වන බව පොලිසිය පවසයි. එම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කුරුණෑගල, මාවතගම, රොබට්හිල්වත්ත පරීක්ෂාවට ලක් කිරීමේදී එහි සඟවා තිබියදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි 04 ක් සහ ටයිටන් වර්ගයේ බෝර 12 වර්ගයේ ගිනි අවි 01 ක්, විදේශ රටක නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රීය රිවෝල්වරයක්, වායු පිස්තෝලයක්, බෝර 12 වර්ගයේ ගිනි අවි වලට භාවිත කරන ජීව උණ්ඩ 37ක්, පුරවන ලද නිල් පැහැති ජීව උණ්ඩ 08 ක්, දුනු විදිනයක්, යුද හමුදා නිල ඇඳුමට සරිලන ඇඳුම් කට්ටලයක් සහ අත්විලංගු 02 ක් සොයාගෙන තිබේ.
එම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා පේරාදෙණිය පොලිසිය විසින් මාවතගම පොලිසිය වෙත භාරදී ඇත.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු