ගිරිහාගම ‘භගවා ලෙන’ නිධන් හොරුන් ගේ ග්‍රහණයට

89

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන, ගලගෙදර තුම්පනේ ගැරඬිගල පර්වතය ඉස්මත්තෙහි පිහිටි ගිරිහාගම ‘භගවා ලෙන’ නිධන් හොරුන් ගේ ග්‍රහණයට හසුව විනාශ යට යමින් ඇත.

ක්‍රි.පූ. දෙවන සියවසේ දී පමණ ඉදිකරන ලදැයි සැලකෙන මෙම භගවා ලෙන් විහාරය මදල නැමති වෙළෙන්දෙක් විසින් සඟ සතු කොට පූජා කරන ලද්දක් , බව ඒ ඉදිරි පිට ඇති ගල්තලාවක බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල් ලිපිය සාක්ෂි දරයි .

එහි සඳහන් වනුයේ (බරු කචග මදල ලෙන, චතු දිෂ සඝෂ දිනේ) යන යෙදුමෙන් පැවසෙනුයේ ඉන්දියාවේ භාරුකච්චු වරායට වත්මනෙහි භාරොච් වරායයි. වෙළෙඳ කටයුතු සඳහා ගිය මදල නැමැත්තා ගේ ලෙන සතර දිග්භාගයෙන් පැමිණි සංඝයා වෙත පූජා කළ බවයි.

ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටි භාරුකච්චු වරායට ගොස් එකල වෙළෙඳ කටයුතුවල යෙදුණු මදල නැමැත්තා ගේ ගම

ගලගෙදර ප්‍රදේශය බවත් , ඔහු සතුව ව්‍යාපාර පැවැති අතර එකල භික්ෂූන් වහන්සේ ද සිටි බැවින් ඉතා හොඳ යහපත් ආගමික පරිසරයක් තිබෙන්නට ඇති බවටත්, සිතාගත හැකි ය.

එවන් තොරතුරු ඇතුළත් මෙම සෙල් ලිපිය ජාතික වස්තුවක් ලෙස සලකා ආරක්ෂා කර ගතයුතු නමුත් අද ඇතැම් අයගේ ක්‍රියාකාරකම් නිසා විනාශ කර, විකෘති කර ඇති අයුරු එහි ගිය අපට ද දක්නට ලැබුණි.

ගලෙන් නෙළන ලද සැතපෙන බුදු රුව ද නිධන් හොරු විසින් විනාශ කර ඇති අතර එහි විහාරස්ථානය ක් තිබුණා ද කියා කිව නොහැකි තරම් සලකුණක් වත් ඉතිරි කර නොමැත.

ගල්ලෙනෙහි උඩු වියනෙහි බිතු සිතුවම් ලියවැල්, නාග ධරණ යනාදිය ලෙන තුළ ගිනි දැල්වීමෙන් දුම් වැදී කළු වී විනාශයට පත්ව ඇත.

මේ පිළිබඳව ගලගෙදර මඩවල විහාරාධිපති පූජ්‍ය අන්දර වැවේ පියරතන නාහිමියන් මෙසේ පැවසූහ .

භගවා ලෙන අද පවතින තත්ත්වය ඉතාමත් කනගාටු දායකයි. ගම්මානයෙන් ඈත්ව හුදෙකලා පෙදෙසක පිහිටි මෙම විහාරස්ථානය විශාල ගල් ලෙනක් හා කුඩා ගල් ලෙන් දෙකක් තියෙනවා . තුම්පනේ පළාතේ පළමු වරට ශෛලමය බුදු රුවක් හමුවෙලා තියෙන්නේ මේ ලෙන් විහාරය අසලිනුයි. එම බුදුරුව මේ වනවිට ගල්වැටි කන්ද විහාරස්ථානයේ තැන්පත් කර තියෙනවා. නිධන් හොරු විසින් ගල්ලෙන හාරා වටිනා පෞරාණික භාණ්ඩ කොල්ල කා තියෙනවා. අපි කාටවත් මේ පෞරාණික ස්ථාන සංරක්ෂණය කරන්න බැහැ , ඒ සඳහා රජය මැදි හත්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා සිද්ධ කළ යුතුයි. විහාර භූමියේ සතර සීමාවේ සීමා කළු ගල් සිටුවා ඇතත් , ඒ සීමාව ඇතුළත කළු ගලින් බිත්ති බැඳ , නිවසක් ඉදිකර ගෙන පවුලක් ජීවත් වෙනවා යැයි උන් වහන්සේ පැවසූහ .
හතරලියද්ද, කිත්සිරි බණ්ඩාර සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment