ගුරුවරුන්ට තර්ජන නොකර ප්‍රශ්නය විසඳන්න – සජබ මහ ලේකම්

1

ගුරු විදුහල්පති විරෝධතාවට විසඳුම ලෙස මර්දනය භාවිතා කිරීම හා තර්ජනාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් තොරව ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව වහා ක්‍රියා කළ යුතු බව සමගි ජනබලවේගය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ නිකුත් කළ නිවේදනයකින් ඉල්ලීමක් කර සිටියේය.

රට බංකොළොත් බවින් මිදුනා යැයි බිලියන ගණන් වැය කරන ප්‍රචාරක ව්‍යාපෘතිවලට මුදල් නාස්ති කරන ආණ්ඩුව රටේ සැබෑ ප්‍රශ්න නොවිසඳීමෙන් එම ගැටලුවලට රජයේ පිළිතුරු නොමැති බව පෙන්වා ඇතැයි ද ඔහු පවසයි.

අනාගත පරපුර ගැන සිතා මෙම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාව දැක්විය යුතු බවද එහි දැක්වේ. සජිත් ප්‍රේමදාස මහතා ගතවූ කාලයේදී ගුරු විදුහල්පතිවරුන් හමුවී ඔවුන්ගේ ගැටලු මැති සබය දක්වා ගෙන ගිය බවද එහි දැක්වේ. එහි මෙසේද දැක්වේ.

පාසල් ක්‍ෂේත්‍රයේ වැටුප් විෂමතාව විසඳීමට පත් කළ සුබෝධනී කමිටු වාර්තාව පදනමක් ලෙස සලකා මෙම ගැටලුවට සාධනීය විසඳුමක් ලබා ගැනීමට පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. එසේ නොකොට මර්දනය අවියක් ලෙස භාවිතා කිරීම අප හෙළා දකිමු. ප්‍රශ්නයකට පිළිතුරක් සපයනවා වෙනුවට පොලිස් ප්‍රහාර මෙන්ම, ගුරු විදුහල්පති සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම වැනි තර්ජන තුළින් සිදුවනුයේ තවදුරටත් මෙම ප්‍රශ්නය සංකීර්ණ බවට පත්වීමයි.

විපක්ෂයේ සිට අධ්‍යාපන ගැටලු දේශපාලනයට ඇතුළු කර ගනිමින් රටේ අනාගතය විනාශ කිරීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය නොවේ. මෙම ගැටලුවලට සමගි ජනබලවේගය ආණ්ඩුවක් යටතේ විසඳුම් ලබාදීමට අවශ්‍ය දැක්ම හා වැඩපිළිවෙළත් සතුව තිබේ. එබැවින් රටේ අනාගත පරපුර ගැන සිතා දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රවලට හසු නොවී කටයුතු කරන මෙන් සමස්ත ගුරු ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment