විමර්ශ ජයසිංහගෙන් ගීත එකතුවක්

28

ගායන ශිල්පියකු, ගී තනු නිර්මාණ ශිල්පියකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද සිය හැකියාවන් එළිදක්වා ඇති යොවුන් පරපුරේ ජනප්‍රිය සංගීත ශිල්පි විමර්ශ ජයසිංහ සිය සංගීත චාරිකාවේ මතක ගොන්න ගී ඇල්බමයක් සහ ගීත ප්‍රසංගයක් ඔස්සේ ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම්ව පසුවන මොහොතක ඒ පිළිබඳව ‘දිවයින සිනමා කලා’ හා එක්ව පැවසූ තොරතුරුයි මේ.

මගේ සංගීත දිවියේ පුංචි කාලයේ සිටම තිබුණු එකම බලාපොරොත්තුව වුණේ සංගීතයේ සෑම අංශයකින්ම ගුණාත්මක නව නිර්මාණ බිහි කිරීම. මට ඒ වෙනුවෙන් මේ වනවිට බොහෝ දේ කළ හැකි වුණා. මම මේ වනවිට එංගලන්තයේ පදිංචිව සිටිනවා. මේ දිනවල මගේ තුන් වැනි සංගීත උපාධිය, ඕඩියෝ ඉංජිනියරින් සහ ප්‍රඩක්ෂන් කියන විෂයන් ඔස්සේ ලබාගැනීමට කටයුතු කරමින් පසුවෙනවා.

සංගීතයේ අංශ රැසක හැකියාවන් ඇති ඔබ ගායන ශිල්පියකු ලෙස ගීත කීපයක්ද එළිදැක්වූවා. ඒ ගැන…

‘ඒ දවස්’ මගේ ප්‍රථම ගීත ගායනය. ගේය පද රචනය කළේ ආරාධනා ඒකනායක මහත්මිය. සංගීතය මගේ. ‘ඔබ මා ළඟ සහ ‘සීතල ස්වෙත’ ගී දෙකම ලියා සංගීතයවත් කර ගායනා කළෙත් මම. මීට අමතරව මා විසින් ගීත රූප රචනා එළිදැක්වීම වෙනුවෙන් ‘වීඩියෝ ප්‍රඩක්ෂන්’ එකක් ද පවත්වාගෙන යනවා. ඉදිරියේදී මගේ ගීත සහ මා විසින් දායකත්වයන් සැපයූ ගීත 10ක් එකතු කර ගීත ඇල්බමයක් සහ එදිනටම සංගීත ප්‍රසංගයකුත් පැවැත්වීමට මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් පසුවෙනවා.

ඔබ අපේ ප්‍රවීණ ගායන ශිල්පීන් වෙනුවෙන් අවසන් වරට කළ ගී නිර්මාණ පිළිබඳව සඳහන් කළොත්… චන්දන ලියනාරච්චි මහත්මා වෙනුවෙන් මම වෙනස් ආරක් ගත් ‘අඳුරු හීන’ නම් වූ ගීතය ගේය පද රචනය කර සංගීතවත් කළා. නිරෝෂා විරාජනී මහත්මිය වෙනුවෙන් ‘මිලින මං’ ගීතය මා විසින් රචනා කර සංගීතවත් කළා. මේ සෑම දෙයකින්ම මම බලාපොරොත්තු වෙන්නේ සංගීත කලාව ඔස්සේ මම උපන් රටට යමක් දායාද කිරීමයි.

සුජීව

advertistmentadvertistment
advertistmentadvertistment