සිවිල් සමාජයට පෙර අරගලය පටන් ගත්තේ අපි… සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

152

කාටවත් මේ අර්බුදය සති ගණන්, මාස ගණන්වලින් විසඳන්න බැහැ

අරගලය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුව සිදු කළ යුතුයි

ආණ්ඩුව ඉන්ධන, ගෑස්, පොහොර අර්බුදය විසඳීම සඳහා අරගලයක නිරතව සිටින අතර, විපක්ෂය ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා අරගල කරමින් සිටිති. ඒ පිළිබඳව අප සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් විමසා සිටි අතර, ඒ සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – දේශපාලන සහ ආර්ථික යන ක්‍ෂේත්‍ර මුල් කර ගනිමින් රට තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් ඉස්මතු වී තිබෙනවා. එම තත්ත්වයන් පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

පිළිතුර – මූලික වශයෙන්ම රට තුළ තිබෙන්නේ පාලනය පිළිබඳ ගැටලුවක්. පාලනය කියල කියන්නේ දේශපාලනය සහ කළමනාකාරීත්වය අසාර්ථක වීම. එම කරුණ මුල් කරගෙන තමයි විශාල ආර්ථික ගැටලු නිර්මාණය වී තිබෙන්නේ. එම නිසා දේශපාලනය පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ නැතිව ආර්ථික ප්‍රශ්නය විසඳන්න බැහැ.

ප්‍රශ්නය – අනුර කුමාර මහතා සඳහන් කරල තිබෙනවා ඔවුන්ට රාජ්‍ය පාලනය භාරදුන්නොත් මූලික ප්‍රශ්න මාස 6 ක් තුළ විසඳන බව. ඒ වගේම එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරල තිබෙනවා පවතින ගැටලුකාරි තත්ත්වය විසඳීම සඳහා වසර 5 ක් පමණ ගත වන බව.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත් වෙලා මේ වනවිට ගත වී තිබෙන්නේ මාස 2 ක පමණ කාලයක් පමණයි. වත්මන් අගමැතිතුමාට සාධාරණ කාලයක් ලබා නොදී එම පාලනය විවේචනය කිරීම සාධාරණද?

පිළිතුර – මෙම ප්‍රශ්නය කාටවත් මාස ගණන්වලින් සති ගණන්වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි. නමුත් දේශපාලන ප්‍රශ්නය විසඳා ගතහොත් මෙම ප්‍රශ්නය විසඳීම හරි මාර්ගයට දාන්න පුළුවන් වනවා. ඊට පසුව නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිද්ධ වෙනවා. සමහර ප්‍රශ්න විසඳීමට වසර දෙකක පමණ කාලයක් ගත වේවි. අනෙක් ප්‍රශ්න විසඳීම සඳහා ඊට වඩා කාලයක් ගත වේවි. සමහරු ඊට වඩා අඩු කාලයකින් මෙම ප්‍රශ්නය විසඳනවා කියන එකෙන් අදහස් වන්නේ තෙල් පෝලිම අඩු කරනවා කියන එක වෙන්න පුළුවන්. ඒ ආකාරයට ප්‍රශ්න විසඳීමට සිද්ධ වෙන්නේ ණයට මුදල් අරගෙන තමයි. නමුත් ඒක ප්‍රශ්න විසඳීමක් නොවෙයි.

මෙම ආර්ථික ප්‍රශ්නයට මූලික හේතුව තමයි ගෙවා ගන්න බැරි තරමට ණය ගැනීම. එම ප්‍රශ්නය සති ගණන් මාස ගණන්වලින් විසඳන්න බැහැ. එම ප්‍රශ්නය විසඳීමට නම් ඊට වඩා කාලයක් යනවා.

ප්‍රශ්නය – ඉන්ධන සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?

පිළිතුර – මේ රටේ මූලික ප්‍රශ්න දෙකක් තිබෙනවා. එක ප්‍රශ්නයක් තමයි අයවැය පරතරයක් තිබීම. එම පරතරය පියවීම සඳහා අලුත් ආණ්ඩුවකට ක්‍රියාමාර්ග ගැනීමට සිද්ධ වෙනවා. ඒ සඳහා ගත යුතු එක් පියවරක් තමයි ආදායම වැඩි කර ගැනීම. අනෙක් පියවර තමයි වියදම අඩු කිරීම. ඒක තමයි අපහසුම පියවර. නමුත් එම පියවර ගන්නම සිද්ධ වෙනවා. එම පියවර ගැනීමේදී සමහර පාර්ශ්වයන්ට අපහසුතා ඇති වේවි. ඒ වගේම පාරවල් ඉදිකිරීම, ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි ඉක්මනින් ප්‍රතිලාභ නොලැබෙන කටයුතු වහාම නතර කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නාස්තිය අඩු කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම දේශපාලන අරමුණු ඇතිව කරන රාජ්‍ය බඳවා ගැනීම් වහාම නතර කළ යුතු වනවා. එම පියවර ගැනීම මගින් අයවැය පරතරය පියවා ගැනීමට හැකි වෙනවා.

අනෙක් ගැටලුව තමයි ආනයන අපනයන පරතරය. අපනයන ආදායම් වැඩි කරලා එම ගැටලුව විසඳීමට කාලයක් ගත වෙනවා. ඒ අතර කාලය තුළදී ණය ගෙවීමේ ගැටලුව විසඳන්නේ කෙසේද කියන ප්‍රශ්නය තිබෙනවා. සියලු දෙනා සමග සාකච්ඡා කරලා එම ගැටලුව විසඳන්න මාස 6 ක් 9 ක් පමණ කාලයක් ගත වේවි. විශ්වාසවන්ත ආණ්ඩුවක් මැදිහත් වෙලා එම කටයුතු කරන කොට අපගේ මිත්‍ර රටවල් ඉදිරිපත් වෙලා අපට පොඩ්ඩක් ඉඩකඩ ලබා දේවී තෙල් ප්‍රශ්නය පොඩ්ඩක් පස්සට දමා ගැනීම සඳහා.

ප්‍රශ්නය – ජාත්‍යන්තර සහයෝගය වැඩියෙන්ම තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බව මීට පෙර ප්‍රකාශ වූවා. ඔබ සඳහන් කරන්නේ ඒ මහතාට ජාත්‍යන්තර සහයෝගය ලබාගත නොහැකි බවද?

පිළිතුර – විදේශ රටවල් පුද්ගලයන්ගේ මුහුණ දෙස බලලා ක්‍රියා කරන්නේ නැහැ. එම රටවල් බලන්නේ රටේ ජනතාව ඒ රටේ තිබෙන ආණ්ඩුව පිළිගන්නවාද කියන එක. ඒ වගේම පවතින ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ද නීත්‍යානුකූල ද කියන එකත් ඒ රටවල් බලනවා. එම මූලික කරුණුවලින් පසුව තමයි මුහුණවල් දෙස බලන්නේ. මේ ආණ්ඩුවට එහෙම විශ්වාසයක් නැහැ. එම නිසා මේ ආණ්ඩුව යන්නම ඕනි.

ප්‍රශ්නය – මේ අවස්ථාවේදී මහ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සියලු පාර්ශ්වයන්ම පිළිගන්නවා. එම පසුබිම තුළ ජනමතයෙන් අලුත් ආණ්ඩුවක් බලයට ගෙන එන්නේ කෙසේද?

පිළිතුර – මුළු රට හරහාම අරගලයක් තිබෙනවා. මුළු රටේම මතය වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරු ගෙදර යන්න ඕනි කියන එක තමයි. මේ රජයට 5% කවත් ජනමතයක් නැහැ කියන එක පැහැදිලියි. කරපු සමීක්ෂණවලිනුත් ඒ බව තහවුරු වී තිබෙනවා.

එම නිසා මේ අවස්ථාවේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මූලික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. එම වැඩපිළිවෙළ තුළින් මූලික ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතුයි. එහිදී අපි සියලු දෙනා පක්ෂ පාට නොබලා රටට හොඳ මොන ප්‍රතිපත්තියට ද කියන එකට එකඟ විය යුතුයි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව අපිට ඡන්දයකට යන්න පුළුවන්.

ප්‍රශ්නය – උද්ඝෝෂණ හරහා රට තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය කර ඉන් අනතුරුව සන්නද්ධ බලය යොදා ආණ්ඩුව පෙරළා කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීමේ සැලසුමක් තිබෙන බවට ද චෝදනා එල්ල වනවා. ඒ පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ජීවන රටාව හැඩ ගැසිලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් තුළ. පසුගිය අවුරුදු 50 තුළම ලෝකය තුළ කොමියුනිස්ට් රාජ්‍ය පිහිටුවලා නැහැ. ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් ගැඹුරින්ම ස්ථාපිත වෙලා තිබෙනවා. එම නිසා අවසානයේදී සියලු දෙනාටම ජනතාව ඉන්න තැනට එන්න සිද්ධ වෙනවා. එම නිසා සියලුම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා.

සාකච්ඡා කළේ – එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment