බාලවයස්කරු පැදවූ සැප ජීප්රිය පාසල් බසයක ගැටී සිසුන් සිව්දෙනකු ඇතුළු 5ක් රෝහලේ

1009

වාහන ඉස්සර කරමින් අධික වේගයෙන් ගිහිල්ලා

බාලවයස්කරුගේ මවගේ නොමනා හැසිරීම ගැටුමට මුලපුරලා

කුලියාපිටිය වෙරළුගම මංසන්ධියෙහි බාලවයස්කරුවකු පැදවූ බව කියන අධි සුඛෝපභෝගී ජීප්රිය පාසල් බස්රථයක ගැටී සිදුවූ අනතුරින් සිසුන් සිව්දෙනකු හා තවත් අයෙකු රෝහල් ගතකළ බව කුලියාපිටිය පොලිසියේ රථවාහන අංශය කියයි.

කුලියාපිටිය සිට පන්නල දෙසට ප්‍රධාන මාර්ගයේ ධාවනය කරවා තිබූ අදාළ සැපරිය මාර්ගයේ ගමන්ගත් රථවාහන කිහිපයක් ඉස්සර කරමින් අධික වේගයෙන් දකුණු මංතීරුවේ ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිසීමට පොරොත්තුවෙන් අතුරු මාර්ගයේ නවතා තිබූ පාසල් සේවා බස් රථයක හා යතුරුපැදියක ගැටී තිබූ බව එහි රැස්ව සිටි පිරිස පවසයි. එහිදී බස් රථයේ ගමන්ගත් වයස අවුරුදු 16ක සිසුවෙකු හා 13 සිසුවන් දෙදෙනකුද, යතුරුපැදියේ ගමන්ගත් පැදිකරු හා පසුපැදිකරුවකු ගමන් ගනිමින් සිටි අයකු එසේ රෝහල් ගතකර තිබිණ.

සැපරියේ රියැදුරු ලෙස ගමන්ගත් දරුවාට එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිසගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබූ අතර එම අවස්ථාවට මැදිහත් වූ සැපරියේ ගමන්ගත් දරුවාගේ මව නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය.

කුලියාපිටිය රථවාහන ස්ථානාධිපති පො.ප. දහනක මහතා වහා මැදිහත්ව තත්ත්වය පාලනය කළේය.

එමෙන්ම සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසූයේ අදාළ සැප රිය අධික වේගයෙන් පැමිණ විශාල ශබ්දයක් සමගින් දුරකථන රැහැන් කණුවක ගැටී බස්රථයේ හා යතුරුපැදියේ ගැටුණ බවයි. එසේ නොවන්නට සැපරියේ වේගය අනුව බස්රථය පෙරලී යෑමටද ඉඩ තිබූ බව පැවසූ ඒ මහතා යතුරුපැදිකරුට මාරාන්තික අනතුරකට මුහුණපෑමටද සිදුවන බව පැවසීය.

එමෙන්ම අදාළ රථය පැදවූ දරුවාගේ මව හැසිරුණ ආකාරය නිසා සාමකාමීව තිබූ තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවද පැවසීය.

අනතුර හේතුවෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ සිසුන්ට හා වැඩිහිටි අයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සී. කේ. දහනක, කඳානෙගෙදර රථවාහන ස්ථානාධිපති සරත් කාරියප්පෙරුම යන මහත්වරුන් ඇතුලු රථවාහන නිලධාරීන් පිරිසක් ඒ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment