ගුරු සටනට ස්ටාලින්ලා අදත් සාකච්ඡා

1

ගුරු – විදුහල්පතිවරුන් සඳහා රජය එකඟ වී ඇති වැටුප් වර්ධක දෙක ලබාගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබඳව අද (28දා) ගුරු – විදුහල්පති එකමුතුව එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (27දා) පැවසීය.

ගුරු – විදුහල්පතිවරුන් සඳහා රජය ලබාදීමට එකඟ වී තිබූ වැටුප් වර්ධක තුනෙන් එකක් ලබාදී තිබෙන බවත් ඉතිරි වැටුප් වර්ධක දෙක ලබාගැනීම සඳහා පෙරේදා (26දා) කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (27දා) දිනයේදී ගුරු – විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කළ බවත් ස්ටාලින් මහතා කීය.

පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයන් දසදෙනකු තුවාල ලැබූ බවත් ඉන් කිහිපදෙනකු ඊයේ (27දා) වනවිටත් රෝහල් ගතව සිටි බවත් ඔහු කීය.

ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටු සාමාජිකයන් ලෙස ගුරුවරුන්, විදුහල්පතිවරුන් පිරිසක් ගුරුවරුන් සහ ගුරු උපදේශකයන් කටයුතු කරන බවත්, ඊයේ (27දා) අසනීප නිවාඩු වාර්තා කර සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව තිබූ බවත්, එහි වගකීම රජය භාරගත යුතු බවත් ස්ටාලින් මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment