ගුවන් හමුදාවට බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER අලුත් යානයක්

149

බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් (360 ER) වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් සිදුකරගෙන යනු ලබන වැඩ පිළිවෙළෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබූ බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් 2024 සැප්තැම්බර් මස 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වන අතර එය ඉදිරියේදි ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝණයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඇමරිකානු එක්සත් ජනපද රජය අතර පවත්වනු ලැබු සාකච්ඡාවන්හි දී ඇමරිකා එක්සත් ජනපද රජයෙන් සමුද්‍රීය නිරීක්ෂණ වර්ගයේ ගුවන් යානාවක් ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු කරනු ලදී. ඒ පිළිබඳ 2019 වර්ෂයේ සිට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER වර්ගයේ ගුවන් යානයක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දීම සිදුකරන ලදී.

බහු කාර්ය ගුවන් යානාවක් ලෙස කටයුතු සිදු කිරීමට හැකියාව ඇති බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER ගුවන් යානය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ගුවන් ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදයේ දී අධ්‍යනය හා පුහුණුව ද ලබා ඇත.

චමින්ද සිල්වා


advertistmentadvertistment