ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට දකුණු කොරියාවේ සහාය – දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් ජනපති රනිල්ට සහතික වෙයි

80

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව පසුගිය සැප්තැම්බර් 18 වැනිදා නිව්යෝර්ක් නුවරදී දෙරටේ රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡා ප්‍රශංසාත්මකව අගය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව කියා ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ තම විශේෂ අවධානය යොමුව ඇති බව ද දැනුම් දී ඇත.

සමුළුව නිමවා සිය රටට පැමිණි විගසම ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

තවද, වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාමුව (TIPF) හරහා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවද දැනුම් දී ඇත.

පුළුල් ක්ෂේත්‍රයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය කැපවීම නැවතත් තහවුරු කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නුදුරු අනාගතයේදීම නැවත වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment