රනිල් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්න

209

නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ලබාදී ඇති නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවන් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම් නැවත නඩු පැවරීමට යටත්ව නිශ්ප්‍රභ කරන ලෙසට නීතිපති සංජය රාජරත්නම් මහතා ඊයේ (8දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ජනාධිපති කොමිසම විසින් ලබාදුන් වාර්තාව අනුව සිදුකර ඇති අවසන් නිර්දේශ නැවත සලකා බලා නිර්දේශ කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුව පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුයකු හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහිත කමිටුවේ කාලය දීර්ඝ කිරීමක් සිදුකර නැති බැවින් උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මේ වනවිට බලාත්මක තත්ත්වයේ නැති බව කියමින් නීතිපතිවරයා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට මෙසේ ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් අධිකරණයේ අභිමතය පරිදි ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ගෙන වගඋත්තරකාර පාර්ශවයට නොතිසි නිකුත් කර පෙත්සම් විභාග කිරීමට අවසර ලබාදෙන්නේ ඒ පිළිබඳ තමන් විරුද්ධ නොවන බවද නිස්සංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් හා මොහොමඩ් ලෆාර් තාහිම් යන විනිසුරු මවඩුල්ලට හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව උපාලි අබේරත්න කොමිසම විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව ලබා දී තිබූ නිර්දේශ අනුව කටයුතු කිරීම වළක්වමින් අධිකරණය විසින් මින් පෙර නිදොස් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන මාර්තු 01 වැනිදා දක්වා දීර්ඝ කළ විනිසුරු මඩුල්ල එම පෙත්සම සලකා බැලීම සඳහා එදිනට කැඳවීමට නියෝග කළේය.

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු පාර්ශව කීපයක් ගොනුකර තිබූ පෙත්සම් ද සලකා බැලීම සඳහා එදිනට යළි කැඳවීමටද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා වෙනුවෙන් විදානපතිරණ ඇසෝසියේටඩ් නීතිඥ සමාගමේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා හා ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සෙසු පාර්ශව නියෝජනය කළහ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන සුමති ධර්මවර්ධන, පාරින්ද රණසිංහ හා මිලින්ද ගුණතිලක යන මහත්වරු ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment