ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර යුද්ධය දෙවන මාසයට එළඹෙද්දී ගාසා තීරය පැහැදිලි ලෙසම දෙකට බෙදමින් එහි උතුරු කොටස ඊශ්‍රායල හමුදාව විසින් වට කර ඇත. හමාස් සන්නද්ධ නායකත්වය එම කලාපය තුළ කොටු වී ඇතැයි ඊශ්‍රායල හමුදාව මුලින් ප්‍රකාශ කළත් මේ වන විට භූමිය අභ්‍යන්තරයේ සිදුවන යුද්ධය පිළිබඳව මාධ්‍යයන්ට නිකුත් කරන තොරතුරු සීමා කර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය හරහා නිරන්තරයෙන් විකාශය වන්නේ ක්ෂණයකින් පුපුරා කඩා හැලෙන දැවැන්ත ගොඩනැඟිලිය. මෙවැනි බිහිසුණු යුද්ධයක් රූපවාහිනී තිර ඔස්සේ සජීවීව විකාශය වන්නේ පළමු වතාවටයි. මෙවැනි විනාශයන් මින් පෙර දක්නට ලැබුණේ චිත්‍රපටවල පමණි.

මේ වන විට ගාසාහි ප්‍රධානම නගරය වූ ගාසා නගරයේ (Gaza City) හදවතටම ඊශ්‍රායල හමුදා පැමිණ ඇත. ගාසා නගරය යනු හමාස් සංවිධානයේ ප්‍රධාන බලකොටුවයි. ගාසා තීරයට එල්ල වූ දැවැන්ත හා විනාශකාරී රොකට් ප්‍රහාර දස දහස් ගණනකින් පසු නටබුන් වූ ගොඩනැගිලි පීරමින් ඊශ්‍රායල පාබල හමුදාව ගොඩබිම් ක්‍රියාන්විතය ආරම්භ කර ඇත. ඊශ්‍රායලයේ උපාය මාර්ගය මුලින් භූමිය සමතලා කිරීම බව පැහැදිලිය. ඉන් පසුව රහස් උමං මාර්ග ඉදිකර ඇති ස්ථාන නිරික්ෂණය කිරීම පහසුය.

උමං යුද්ධයක්

ඊශ්‍රායල හමුදාවන්ට තිබූ බරපතළම අභියෝගය වූයේ හමාස් සංවිධානය විසින් ඉදිකර ඇති උමං මාර්ග පද්ධතියයි. පසුගිය දා හමාස් ප්‍රාණ ඇපයෙන් නිදහස් වූ 85 හැවිරිදි යොචාවෙඩ් ලිෆ්ෂිට්ස් මහත්මිය විස්තර කළේ හමාස් භටයන් විසින් තමන්ව “මකුළු දැල් වැනි යෝධ උමං පද්ධතියක්” හරහා කිලෝමීටර කිහිපයක් පොළව යටට රැගෙන ගිය බවයි. ඊශ්‍රායල හමුදාවට අනුව ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවන් මේ වන විට රඳවා ඇත්තේ මෙකී උමං මාර්ග තුළයි. හමාස් ගැන අධ්‍යයනය කර ඇති හමුදා විශේෂඥයන් මෙකී උමං මාර්ග හඳුන්වන්නේ දරුණු බෝම්බ ප්‍රහාර මාලාවකින් පසුව වුවද හමාස් සටන්කාමීන්ට තවදුරටත් රැකවරණය ලැබිය හැකි ප්‍රබල ආරක්ෂක බංකර පද්ධතියක් ලෙසයි.

කෙසේ නමුත් මෙම අසීරු අභියෝගය ජයගැනීම සඳහා වූ දැවැන්ත ඊශ්‍රායල හමුදා මෙහෙයුම දැන් ආරම්භ වී ඇත. තම හමුදාවන්ට නතු වූ ගාසා තීරයේ බිම් කොටස්වල හමාස් උමං මාර්ග එකින් එක විනාශ කිරීමට ඊශ්‍රායල හමුදා ඉංජිනේරුවන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. මේ සඳහා රොබෝ යන්ත්‍ර සහ පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීමට සැලසුම් කර ඇත. දැනටමත් එවැනි උමං මාර්ග 130 කට වඩා පුපුරුවා දමන ලද බවත් හමාස් මර උගුල් පුපුරවා ත්‍රස්තවාදීන් සියලු දෙනා මරා දමන බව ඊශ්‍රායලය පවසයි.

උතුරු ගාසා කලාපයේ සිවිල් වැසියන් සියලු දෙනා තවමත් ඉවත්ව ගොස් නැත. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි දැන් දැන් ඔවුහු තම නිවෙස් අතහැර දකුණට පලායමින් සිටිති. බොහෝ අය සුදු කොඩි අතැතිව ගමන් කරනු පෙනේ. ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. මේ වන විට පලස්තීනුවන්ට පලායෑමට සිදුව ඇත්තේ ඊශ්‍රායල යුද ටැංකි පෙළ ගස්වා ඇති මාර්ගයක් ඔස්සේය. සාමාන්‍ය වැසියන්ට ඉවත්වීම සඳහා දිනපතා පැය හතරක ආරක්ෂිත කොරිඩෝවක් වෙන් කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඉවත්ව යන සාමාන්‍ය වැසියන්ට හමාස් සංවිධානය බාධා කළේ ඔවුන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ හැකි නිසා බවට සැකයක් නැත. නමුත් ගාසා නගරය තුළ හමාස් බලය බිඳී යද්දී සාමාන්‍ය ජනතාව වහ වහා පළා යමින් ඇත. යුද්ධය ආරම්භ වූ මුල් අවස්ථාවේම ඊශ්‍රායලය විසින් උතුරු ගාසා වැසියන්ට වහාම දකුණට සංක්‍රමණය වන ලෙස දැනුම් දුන් අතර ඒ සඳහා සීමිත කාලයක් ලබා දෙන ලදී. කෙසේ නමුත් ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරන ලද දකුණු ගාසාවලට පවා ගුවන් ප්‍රහාර එල්ල වෙමින් පවතී.

ඇරෙන වැහෙන රෆා පිවිසුම

ගාසා තීරය හා ඊජිප්තුව අතර දේශසීමාවේ ඇති රෆා පිවිසුම් මාර්ගය පසුගිය සතියේ තාවකාලිකව විවෘත කළේ රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වන පලස්තීන තුවාලකරුවන් හා ගාසා තීරයේ කොටු වී සිටින විදේශිකයන් ඉවත්කර ගැනීම සඳහාය. එසේම ගාසා තීරයේ ජීවත්වන ද්විත්ව පුරවැසියන්ටද රෆා පිවිසුම හරහා ගමන් කිරීමට ඉඩ සලසා ඇත. දේශසීමා රහිත වෛද්‍යවරු (Doctors Without Borders) පවසන්නේ තුවාල ලැබූවන් 20,000 කට වැඩි පිරිසක් තවමත් ගාසා තීරයේ සිරවී සිටින බවයි. ගාසාහි රෝහල්වලට අවශ්‍ය බලශක්තිය හා අනෙකුත් පහසුකම් ඇනහිටීමෙන් තුවාලකරුවන් හා රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇත.

රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තු රජය අවසානයේ එකඟ වූයේ කටාර් හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙනි. මේ සඳහා ඊජිප්තුව, ඊශ්‍රායලය පමණක් නොව හමාස් සංවිධානය එකඟ කරවා ගැනීමට අදාළ මැදිහත්කරුවන්ට හැකි වී ඇත. කෙසේ නමුත් ඊජිප්තුව එකඟ වී ඇත්තේ බරපතළ තුවාල ලැබූ ගාසා වැසියන් භාර ගැනීමට පමණි. එසේම රෆා පිවිසුම ඔස්සේ ගාසා තීරයට අවශ්‍ය මානුෂික ආධාර යැවීමටත් අදාළ පාර්ශ්වයන් එකඟ වී ඇත. අර්බුදයක් නොමැති කාලයේ ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට සෞඛ්‍ය හා පෞද්ගලික අවශ්‍යතා සඳහා රෆා පිවිසුම හරහා ඊජිප්තුව වෙත ගමන් කිරීමට ඉඩ සලසා තිබුණි. නමුත් ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සමඟම ඊජිප්තුව විසින් රෆා පිවිසුම වසා දමන ලදි. ඊජිප්තුව හැකි තාක් දුරට මේ යුද්ධයට මැදිහත් නොවී සිටීමට උත්සාහ දරන බව පෙනී යයි. 1967 සය දින යුද්ධයේදි ඊශ්‍රායලයට එරෙහිව අරාබි ලෝකයේ නායකත්වය ලබා ගැනීමට ගොස් ඊජිප්තුවට නින්දා සහගත පරාජයක් අත්විඳ ගන්නට සිදුවිය.

මානව ඛේදවාචකයක්

මෙම අර්බුදය මානව වර්ගයා මුහුණ දෙන මහා නස්පැත්තියක් බවට පත්ව ඇත. ලිපිය ලියන මොහොත වන විට පලස්තීනුවන් 10800 කටත් වඩා ගැටුමෙන් මියගොස් ඇති අතර ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලය තුළ පුද්ගලයන් 1400 කට වඩා මියගොස් ඇති බව වාර්තා වෙයි. ගාසා තීරය තුළ මිලියන 1.5ක ජනතාවක් අවතැන් වී ඇත. මියගිය ළමයින්ගේ සංඛ්‍යාව 4400ක් යැයි පැවසේ. එක්සත් ජාතීන් පවසන්නේ ගාසා තීරය මේ වන විට ළමයින් සඳහා වූ සොහොන් බිමක් බවට පත්ව ඇති බවයි. කෙසේ නමුත් මියගිය ප්‍රමාණය පිළිබඳව හමාස් සංවිධානය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිගත නොහැකි තත්ත්වයක ඇති බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත. අවසන් කටයුතු කිරීමට සූදානම්ව සුදු රෙදිවලින් ආවරණය කර ඇති ව්‍යාජ මළ සිරුරුවල වීඩියෝ ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත. හමාස් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවේ අනුකම්පාව අපේක්ෂාවෙන් මෙවැනි මවාපෑම් සිදුකරන බවට සමාජ මාධ්‍යයන් ඔස්සේ චෝදනා එල්ල වෙමින් පවතී. කෙසේ නමුත් දැන් මෙය හමාස් සංවිධානය හා ඊශ්‍රායල හමුදා අතර යුද්ධයක් පමණක් නොව ලෝකයේ සෑම කලාපයකටම හිසරදයක් වූ ගැටුමකි.

ගාසා තීරයේ පාලනය ඊශ්‍රායලයට

ගාසා තීරය ඊශ්‍රායලයට

හමාස් සංවිධානය බලයෙන් ඉවත් කළ පසු ගාසා තීරයේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඊශ්‍රායලය සතු කර ගන්නා බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා ප්‍රකාශ කළේය. නමුත් ඔහු ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිකළේ නැත. ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු ස්ථාපිත කරන ලද ඊශ්‍රායල ත්‍රි-පුද්ගල යුද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ බෙනී ගැන්ට්ස් පැවසුවේ ගාසා තීරය පාලනය කිරීම සඳහා තවමත් දිගුකාලීන සැලසුමක් සකස් කර නොමැති බවයි. නමුත් එවැනි ඕනෑම සැලසුමක් මඟින් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා බව ඔහු පැවසීය.

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් ජීවත් වන ප්‍රදේශයන්හි සිදු කරන එවැනි ඕනෑම ආරක්ෂක ක්‍රියාමාර්ගයක් බලහත්කාර හමුදා ආක්‍රමණයක් ලෙස පලස්තීනුවන් පමණක් නොව බහුතර ජාත්‍යන්තර ප්‍රජාව විසින් ද පිළිගනු ලබනු ඇත. හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පවා ඊට එතරම් මනාපයක් දක්වන බව පෙනෙන්නට නැත. හමාස් සංවිධානය පරාජය කළ පසු සෞදි අරාබිය ඇතුළු මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් සමඟ සාකච්ඡා කර ගාසා තීරයේ පාලනය බටහිර ඉවුරේ පලස්තීන අධිකාරිය වෙත පැවරීම මේ මොහොතේ හොඳම හා කල් පවත්නා විසඳුම බව බටහිර මතය යි. යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරය සහ බටහිර ඉවුර සඳහා එක්සත් පලස්තීන රජයක් පිහිටුවීමේ අභිලාෂය පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය හා බටහිර ඉවුරේ පලස්තීන අධිකාරියේ නායකයන් සමඟ සාකච්ඡා කර ඇත.

ඊශ්‍රායලය විසින් මීට පෙර අත්පත් කරගත් බටහිර ඉවුර මේ වන විට පලස්තීන අධිකාරිය යටතේ පාලනය වෙයි. එය අර්ධ ස්වයං පාලන ලක්ෂණ සහිත පාලනයක් වුව ද ස්වාධීන රාජ්‍යයකට ලැබෙන සියලුම ජාත්‍යන්තර පිළිගැනීම් පලස්තීන රජයට ලැබී ඇත. නමුත් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් බටහිර ඉවුරේ පලස්තීනුවන් අතර පවා එතරම් ජනප්‍රිය පුද්ගලයෙකු නොවේ. ඔහු බොහෝ විට ගැටුමට වඩා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරන මධ්‍යස්ථ නායකයෙකි. කෙසේ නමුත් මේ වන විට තම ප්‍රබල සතුරා වෙත එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් හමාස් සංවිධානය බටහිර ඉවුරේ පලස්තීනුවන් අතර කැපී පෙනෙන ජනප්‍රියත්වයක් අත්කර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය කලාපීය සාමයට බාධාවකි.

කෙසේ නමුත් ගාසා තීරය ඊශ්‍රායලයේ පාලනයට නතු වීම මඟින් තත්ත්වය වඩාත් සංකීර්ණ වනු ඇත. 1967 සිට 2005 දක්වා කාලය තුළ ඊශ්‍රායලය බලවත් ලෙස තම පැවැත්ම තහවුරු කර ගත්තද ඊට සාපේක්ෂව දැවැන්ත පලස්තීන කැරලි දෙකක් ඇති විය. යසර් අර්ෆත්ගේ ෆාටා සංවිධානයේ බලය හීන වී වඩාත් ප්‍රචණ්ඩ හමාස් සංවිධානයේ ශීඝ්‍ර වර්ධනය සිදු වූයේ ද එම කාලය තුළ යි.

සටන් විරාමයක් නැහැ

වහාම ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමයක් ඇති විය යුතු යැයි ඉල්ලා සිටිමින් පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරන ලදි. ගාසා තීරයට අවශ්‍ය ආධාර ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන ලෙසත් එයින් ඉල්ලා ඇත.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 121ක් ඡන්දය දුන් අතර ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඇතුළුව රටවල් 14ක් ඊට විරුද්ධ වී ඇත. මහා බ්‍රිතාන්‍යය, කැනඩාව හා ඉන්දියාව ඇතුළු තවත් රටවල් 44ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

කෙසේ නමුත් ඊශ්‍රායලය එම සටන් විරාම යෝජනාව මායිම් නොකරමින් දිගින් දිගටම ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කරයි. අගමැති නෙතන්යාහු පවසන්නේ සටන් විරාමයක් ඇති වීමට නම් මුලින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ උද්වේගකර කතාවක් පැවත්වූ එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන් මෙම යෝජනාව දැඩිව විවේචනය කළේය. යෝජනාව මඟින් ඊශ්‍රායල-පලස්තීන යුද්ධයක් පිළිබඳව හුවා දක්වා ඇති මුත් මෙය කිසිසේත්ම එවැන්නක් නොවන බවත් ඊශ්‍රායලය මේ අවස්ථාවේ සිදුකරන්නේ සමූලඝාතක, මිනීමරු හමාස් ත්‍රස්තවාදයට එරෙහි සටනක් පමණක් බවත් ඔහු සඳහන් කළේය. මුළු ලොවම තමන්ට එරෙහිව සිටිය ද හමාස් ත්‍රස්තවාදය මිහිපිටින් තුරන් කර මිසක් ආපසු හැරීමක් නැති බව ඔහු සපථ කළේය. එය නූතන නාසිවාදයට එරෙහිව ඊශ්‍රායල නීතිය මඟින් තම හමුදාවන්ට ලැබී ඇති අත්හළ නොහැකි වගකීමක් බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.

දරුවන් ඉදිරියේ දෙමව්පියන්ද දෙමව්පියන් ඉදිරියේ දරුවන් ද කුරිරු වධ හිංසාවන්ට ලක්කර මරා දැමූ බවත්, තරුණියන් දූෂණය කර මරාදමා ඔවුන්ගේ නිරුවත් සිරුරු ගාසා තීරයේ මාවත් දිගේ රැගෙන ගිය බවත් ඒවා වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. යුදෙව්වෙකු නොවන තායිලන්ත ජාතිකයෙකු වධ හිංසා කරමින් මරා දමන වීඩියෝවක් මහාමණ්ඩලය හමුවේ ප්‍රදර්ශනය කළේය. මෙවැනි සාහසික ම්ලේච්ඡත්වය වීඩියෝගත කර ලොවට බෙදා හැරීමේ අරමුණ ලෝකයා තැති ගැන්වීම හැර වෙනත් කුමක්දැයි ප්‍රශ්න කළේය.

“සටන් විරාමයකින් සිදුවන්නේ හමාස්වරුන්ට නැවත සංවිධානය වී ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට හැකි වීම පමණයි. අපි ඊට ඉඩ දෙන්නේ නැහැ.” තානාපතිවරයා මහා මණ්ඩලය හමුවේ දැඩිව ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමටනම් විරාමයක් අවශ්‍ය වනු ඇති බවයි. ඔහු අදහස් කරන්නේ සටන් විරාමයක් නොවේ. ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ගෙන් එල්ල වන පීඩනය හමුවේ බයිඩන් මහතාට එසේ කීමට සිදුව ඇති බව කිව හැකිය. හමාස් ග්‍රහණයේ ඇති ප්‍රාණ ඇපකරුවන් අතර ඇමෙරිකානුවන් කිහිප දෙනෙකුත් සිටිති. අද වන විට වාර්තා වන්නේ ඊශ්‍රායලය යම් කිසි ආකාරයක විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බවයි. බොහෝ විට මෙය දිනපතා පැය 4ක් සඳහා වූ යුද මුක්ත විරාමයක් වනු ඇත.

විනාශ කළ නොහැකි මතවාදයක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ මෙය එකට ජීවත් විය යුතු ජනවර්ග දෙකක් අතර අවාසනාවන්ත ගැටුමක් බවයි. වහාම ඔස්ලෝ ගිවිසුම ක්‍රියාත්මක කර රාජ්‍යයන් දෙකක විසඳුමට පිවිසෙන ලෙස උන්වහන්සේ ඉල්ලා ඇත. 1947 එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක වී එවකට පලස්තීනය හා ඊශ්‍රායලය නම් වූ රාජ්‍ය දෙකක් පිහිටුවීමට හැකි වූවානම් අද මේ විනාශය සිදුවන්නේ නැත. බොහෝ ජාතීන් පිළිගන්නා පරිදි ගැටුමෙන් මිදීමට ඇති එකම මාර්ගය එයයි.

ගාසා තීරයට ඇතුළු වුවහොත් ඊශ්‍රායලයට අමතක නොවන පාඩමක් උගන්වන බැව් කී ඉරානය තවමත් සන්නද්ධ මැදිහත් වීමක් සිදුකර නැත. නමුත් ඉරානයේ සහාය ලබන යේමනයේ හූති සංවිධානය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ගැටුමට මැදිහත් වී ඇත. වර්තමානයේ යේමනයේ බලය හොබවන්නේ හූති සංවිධානයයි. යේමනයේ සිට ඊශ්‍රායලය වෙත බැලැස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඇත. ඊශ්‍රායලයට එරෙහිව එක් බලවේගයක් ලෙස නැඟී සිටින ලෙස ඉරානය ලෝකයේ අනෙකුත් ඉස්ලාමීය ජාතීන්ගෙන් ඉල්ලා ඇත. ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අද සෞදි අරාබියට පැමිණ ඇත්තේ ජෙඩා නගරයේ පැවැත්වෙන ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගි වීම සඳහාය. මෙම සංවිධානය ඉස්ලාමීය රටවල් 57 ක නියෝජනයකි.

ඉරාන ජනාධිපතිවරයෙකු මෙසේ සෞදි අරාබියට පැමිණෙන්නේ දශක ගණනාවකින් පසුවය. සුන්නි මුස්ලිම් ලෝකයේ නිල නායකත්වය උසුලන සෞදි අරාබිය හා සියා මුස්ලිම්වරුන්ගේ නායකත්වය උසුලන ඉරානය කාලයක් තිස්සේ එකිනෙකට පසමිතුරු රාජ්‍යයන් දෙකක් ලෙස පැවතුණත් චීනයේ මැදිහත් වීමෙන් දෙරට අතර සංහිඳියාවක් ඇති කිරීමට කටයුතු කර තිබුණි. ඊට සාපේක්ෂව ඇමෙරිකාවේ මූලිකත්වයෙන් සෞදි අරාබිය, ඊජිප්තුව වැනි ඉස්ලාම් රාජ්‍ය හා ඊශ්‍රායලය අතර පුළුල් මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ඇති කිරීමට උත්සාහ දරා තිබුණි. නමුත් දලු ලා වැඩෙමින් තිබූ ඊශ්‍රායල-අරාබි සහයෝගීතාවට මේ වන විට කණ කොකා හඬා ඇත.

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ 16 වසරක හමාස් පාලනය පෙරළා දමනු දැමුවද හමාස්හි අන්තවාදී ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම ඉවත් කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත. හමාස් යනු හුදු සංවිධානයකට වඩා වැඩි යමකි. එය විනාශ කළ නොහැකි මතවාදයක් වන අතර උපක්‍රමශීලීව ත්‍රස්තවාදයට යොමු වීමේ ඉඩකට බැහැර කළ නොහැක. ගාසා තීරය අළු දූවිලි වී ගිය ද ඊශ්‍රායලයට එරෙහිව ඉස්ලාම් ආගමිකයන් තුළ ඇති වෛරය කිහිප ගුණයකින් වැඩිවනු ඇත. එකී වෛරය ඊශ්‍රායලයට පමණක් නොව ඊශ්‍රායලයේ පැවැත්ම පිළිගන්නා ලොව ඕනෑම ජන කොටසකට එරෙහිව එල්ල විය හැකිය. ආගමික අන්තවාදය ගුරු කොට ගත් රාජ්‍යයන් විසින් එම මතවාදය තවදුරටත් පෝෂණය කරනු ඇත. ගාසා තීරය ඊළඟ පරම්පරාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හෝ ජිහාඩ්වාදීන් බිහි කිරීමට තෝතැන්නක් වනු ඇත. කෙසේ නමුත් යුද්ධයට දීර්ඝකාලීන ජයග්‍රාහකයන් නොමැති බව කිව යුතුය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment