ආණ්ඩුවේ දේශපාලන පුනරුද සැලසුමේ සමාරම්භය ලෙස හැඳින්විය හැකි “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වුණු දින දෙකක විවාදයෙන් ඒ ගැන පැහැදිලි චිත්‍රයක් රටට ජනතාවට ලැබුණු බවක් කිව නොහැක. එයට හේතු වූයේ සමාජ දේශපාලන, මාධ්‍ය ඇතුළු බොහෝ අංශවල ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබුණු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ ආන්දෝලනයයි. මෙහිදී වඩාත් කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබෙන නිවාසය හා ඔහුගේ ආරක්ෂාව අඩු කිරීම ගැනය. මහින්දගේ දේශපාලන හිතවාදීන් පමණක්නොව, වෙනත් සමාජ දේශපාලන ක්‍රියාකාරීන් ද විසින් ඒ සම්බන්ධව විවිධ විශ්ලේෂණ සිදු කරනු ලැබ ඇත. මේ රටේ සිටි ජනාධිපතිවරුන් සියලු දෙනා අතර ඔහුට සුවිශේෂත්වයක් හිමි වන්නේ ඔහුගේ විධායක ධුර කාලය තුළ ප්‍රභාකරන්ගේ තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජයට පත් කළ නායකයා ලෙසය. ඒ ඓතිහාසික ගෞරවයේ ප්‍රබල කොටසක් ජනාධිපති මහින්දට හිමිවීම ගැන විවාදයක් නැත. එසේම ඒ සඳහා විවිධ කැපවීම් කළ පිරිසක් ද සිටිති. එහිලා එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය මෙන්ම හමුදාපති ධුරය හෙබවූ සරත් ෆොන්සේකාගේ භූමිකාවන් ද ඉවහල් වූ බව පමණක් සඳහන් කළ යුතුය.
මෙම යුද ජයග්‍රහණය තේමා කර ගනිමින් ලියැවුණු බොහෝ දේවල් ද ඇත. ඇතැම් සිදුවීම්, චෝදනා, විවේචන ආදිය ගැන ද ඒ ඒ විශ්ලේෂණයන්හි දැක ගතහැකිය. කුමක් වුවත් මෙම යුද ජයග්‍රහණය මහින්දගේ දේශපාලනයෙහි ප්‍රමුඛ සාධකයක් ලෙස ද භාවිත වී තිබේ. ප්‍රභාකරන්වාදීන්ට මෙන්ම බෙදුම්වාදීන්ට හා ඇතැම් බටහිරයන්ට ද මහින්දට නුරුස්සන හේතුවක් ලෙස මේ යුද ජයග්‍රහණය දැක්වීම ද සාධාරණය. මහින්ද ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක් නොවුවත් ඔහුගේ සහෝදර ගෝඨාභයට එබඳු ප්‍රහාරයකින් දිවි බේරා ගැනීමේ භාග්‍ය තිබුණි. එවක හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ද ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගත්තේ පෙර පින් මහිමයක් නිසා යැයි ද සිතීමට කරුණු තිබේ. කුමක් වුවත් මේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ වෛරය මේ සියල්ලන්ටම තිබෙන බව නිසැකය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ද මේ ත්‍රස්තවාදී සැහැසිකම් නිසා ඇසක් අහිමිවූ බවද සිහිපත් කළ යුතුය. එනිසා ඒ අඳුරු ඉතිහාසයෙන් රටට යම් නිදහසක් හිමිවුවත් එය කෙබඳු එකක් දැයි කිසිවකුට නිශ්චිතව කිව නොහැක. ඒ අනුව මේ හිටපු ජනාධිපතිවරුන්ට හා අදාළ අන් අයට ද විදිමත් ආරක්ෂාවක් මෙන්ම ගෞරවයක් දැක්වීම ද කෘතවේදී ජනතාවගේ ශිෂ්ට ප්‍රතිචාරයක් බව ද අවධාරණයෙන් කිව යුතුය. එසේ නම් මේ ආන්දෝලනය කුමක්ද?
ජනාධිපති අනුර හෝ ඔහුගේ ආණ්ඩුව විශ්‍රාමික ජනාධිපතිවරුන් හා මැති ඇමැති වරප්‍රසාද පිළිබඳව ජනතාවට පැහැදිලි ප්‍රතිඥාවක් දී තිබේ. ජා.ජ.බ.යේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මේ පිළිබඳව (194 පිටුව) පැහැදිලිව ම සඳහන් කර තිබේ. පහත උපුටා දක්වන්නේ එහි අඩංගු කරුණු කීපයකි.
- විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කාලත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප් විශේෂ දීමනා හා වරප්‍රසාද අහේසි කිරීම.
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කින් පසුව ලබාදෙන විශ්‍රාමවැටුප අහෝසි කිරීම.
- මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවතට.
(194 වැනි පිටුවෙන් උපුටා ගත්තකි.)
ජා.ජ.බ.ය මෙරටේ දේශපාලන පුනරුදයක් සඳහා කැපවූ මහජන ව්‍යාපාරයක් බව ඔවුහු මැතිවරණ වේදිකාවලදී පුන පුනා කීහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඇතුළු අලුත් යෝජනා ගණනාවක්ම ඔවුන් විසින් ඉදිරි පත් කරන ලද අතර ජනතාව ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ සියල්ල අනුමත කරමින් සුවිශේෂ ජනවරමක් ද ඔවුන්ට ලබාදී ඇත. ඒ අනුව අද ඔවුහු ක්‍රියා කරමින් සිටිති. මෙරටේ සාම්ප්‍රදායි දේශපාලන පක්ෂවලට ඒවා නියෝජනය කළ ප්‍රභූ තන්ත්‍රයට ද ඛේදනීය පරාජයක් ලබාදුන් ජනතාව අද අපේක්ෂා කරන්නේ සැබැවින්ම දේශපාලන පුනරුදයකි. ඒ සඳහා වුවමනා ක්‍රියාකාරකම් කොතැනින් ඇරඹිය යුතු දැයි අපට යෝජනා කළ නොහැක. එහෙත් එය කොතැනින් හෝ පටන් ගතයුතු බව නම් කිව යුතුය. ඇත්ත වසයෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” ඒ අලුත් සමාජ දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් ඉදිරිපත් වූ බව විපක්ෂ පවා පිළිගනී. එහෙත් එය සාර්ථක පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යෑම පිළිබඳ ඇතැම්විට ඔවුන්ගේ බල දේශපාලන අරමුණු හරස් වනු ද විය හැකිය. ඒ පිළිබඳ පැවැති පාර්ලිමේන්තු විවාදයෙහි දී විපක්ෂය අවධානයට ලක් කළේ වෙනත් කරුණු පිළිබඳවය. එම විවාදයේදී ඇමැති බිමල් රත්නායක විසින් වැදගත් ප්‍රශ්නයක් ද නැඟීය. ඔහු විමසා සිටියේ දූෂිත දේශපාලනයක් නඩත්තු කළ බවට චෝදනා කෙරෙන රනිල් පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය සමග සිට ගැනීමට ස.ජ.බ.ය සූදානම්ද? නැතහොත් ආණ්ඩුවේ සාධනීය ප්‍රතිපත්තිවලට සහාය දෙන්නේ ද යන්නය. කුමක් වුවත් ජා.ජ.බ.ය අබියස තිබෙන සමාජ දේශපාලන අභියෝග සුළු පටු නොවන බව එහි සියල්ලෝම දැන සිටිය යුතු වෙති. ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන බවත් අද දේශපාලන දඩයමක් සිදුවන බවත් විපක්ෂවල මූලික චෝදනාව වී තිබේ. සමහරු ජනාධිපති අනුරගේ ආරම්භය ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්ප්‍රාප්තිය සමග ද සසඳති. මෙයට අගමැතිනි හරිනි විසින් දක්වන ලද සාධනීය ප්‍රතිචාරය ඇතැම්විට දේශපාලන අඳුරක සිටින බොහෝ දෙනකුට නොතේරෙන්නක් ද විය හැකිය. ඇමෙරිකාවේ ජනාධිතිධුරය ක්‍රියාත්මක වන ව්‍යවස්ථාමය හා දේශපාලන පසුබිම ශ්‍රී ලංකාවට වඩා වෙනස් මෙන්ම සුවිශේෂී එකක් බවද සැකෙවින් දැක්විය හැකිය. ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසු වහාම විධායකය ලෙස ක්‍රියාත්මක වන ජනාධිපතිවරයකුට ක්‍රියා කළ හැකි වාතාවරණය ද වෙනස්ය. එහෙත් දසක ගණනාවක් එම ධුරය හෙබවූ පක්ෂවලට අයත් අනුගාමිකයන් විසින් අද නඟනු ලබන බොහෝ ප්‍රශ්න හුදු දේශපාලන කුහකත්වය විනා රට හෝ ජතාව වෙනුවෙන් නඟන්නේ ද යන කුහුල අපට ද තිබේ.
ඇත්ත වසයෙන්ම ආණ්ඩුවට හිටපු ජනාධිපති මහින්දව දැනට ඔහු පදිංචි වී සිටින නිවාසයෙන් එළියට ඇද දමා ඔහුගෙන් පළිගැනීමේ අරමුණක් තිබේ ද? නීතිය බලාත්මක කිරීම හා යුක්තිය ඉටුවීම පිළිබඳව මෙතෙක් තිබුණු ක්‍රමය සම්මතය වෙනස් කළ යුතු බව ජනාධිපති අනුරගේ දැඩි ස්ථාවරයයි. ඔහුට ලබාදුන් ජනවරමෙහි අර්ථය ද එයයි. මේ වනවිට හිටපු ජනාධිපති මහින්දගේ නිවස සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය පක්ෂග්‍රාහී හෝ ඔහුට පමණක් අදාළ වූවක් ද නොවේ. දින කීපයකට පෙර අවස්ථා කීපයකදීම ජනාධිපති අනුර මේ සම්බන්ධ පැහැදිලි කිරීම් කීපයක්ම සිදුකර ඇත. ඒවා යළි යළි දැක්වීම ද අනවශ්‍යය. එහෙත් මේ ජනාධිපතිවරුන් වෙනුවෙන් මහජන මුදල් යෙදවීමට උචිත හා සාධාරණ ක්‍රමවේදයක් අවශ්‍ය බව නම් කිව යුතුය. දැනට තිබෙන වාර්තා අනුව මහින්දගේ නිවසේ මාසික කුලිය මිලියන 4.6කි. කොළඹ විජේරාම මාවතේ අක්කරයකට වැඩි භූමි භාගයක් එයට ඇතුළත්ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නිවසේ මාසික කුලිය රුපියල් මිලියන 02ක් ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවස රුපියල් ලක්ෂ 09ක් බවත් ජනාධිපති අනුර පවසා තිබේ. මෙම නිවාසවල වත්මන් වටිනාකම් පිළිබඳ වාර්තාවක් ද ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඇත. ඒවා යළි දැක්වීමට ද වුවමනා නැත. හිටපු ජනාධිපති ගෝඨාභය හා ජනාධිපති වැන්දඹු හේමා ප්‍රේමදාස ඔවුන්ගේ නිවාස භාර දී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ නිවසක් ලබාගෙන නැති බවත් වාර්තා වී තිබේ. මහින්ද තමාගේ නිවස පිළිසකර කිරීමට ද විශාල මුදලක් වැය කළ බවට ද චෝදනාවක් තිබේ. කලකට පෙර මෛත්‍රී ජනාධිපතිවරයා ද තම නිල නිවස පිළිසකර කළ ආකාරය ගැන ද චෝදනා නැඟුණි. එසේම ඔහු පාවිච්චි කළ පැජට් පාරේ නිවස ඔහුගෙන් ආපසු ලබාගැනීමට පිරිසක් ක්‍රියාත්මක වූ බවද අපට මතකය. මෛත්‍රීට අධිකරණ නියෝගයකින් ඒ නිවස අහිමි විය. එසේ වුවද මහින්ද තම නිවස පිළිසකර කිරීම කිසිවකුගේ අභියෝගයකට ලක් වූයේද නැත. එයට එල්ල වූ ප්‍රථම විරෝධය ජා.ජ.බ. ආණ්ඩුව විසින් නඟන ලද්දකි. එසේම ඉහත සඳහන් කළ පරිදිම එය ජනතාවට ලබාදුන් ප්‍රතිඥාවකි.
හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම මැති ඇමැතිවරුන්ට දී තිබෙන වරප්‍රසාද සාධාරණ පදනමක් අනුව ලබාදීමට කිසිවෙක් විරුද්ධ නොවෙති. එහෙත් ඒවා අනවශ්‍යම බව පවසන අය ද සිටිති. කුමක් වුවත් මෙරටේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය විසින් ජනතා මුදලින් ලබාගන්නා ලද වරප්‍රසාද ගැන ජනතාවට ද දැඩි විරෝධයක් මෙන්ම අප්‍රසාදයක් ද තිබුණි. ජයවර්ධනගේ ව්‍යවස්ථාව හෙළා දුටු කිසිවෙක් ඔහුගෙන් ලැබුණු වරප්‍රසාද හිමිකම් නොමැනවැයි කීවේද නැත. වසර පහක සේවයකට විශ්‍රාම වැටුපක් දීම කෙතරම් සාධාරණද? ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩල එකම පවුල් ව්‍යාපෘතියක් වීම ගැන ලැජ්ජාවක් හෝ නැද්ද? පසුගිය පාලන යුගවල වාහන දහඅටක් පාවිච්චි කළ ඇමැතිවරු ද වූහයි කියනු ඇසෙයි. මහජන මුදල් මෙලෙස අවභාවිත කළ රටවල් කොපමණ තිබේදැයි නිශ්චිතව කිව නොහැකි වුවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කුප්‍රකට වාර්තා අප්‍රමාණව තිබනෙ බවද කිව යුතුය. ඇමැති බිරියන්ගේ හැට්ටා කටු ගැසූ ආරක්ෂකයන් ගැන ද ජනාධිපති අනුර ම කියයි. අද ඔහුගේ උපදෙස් පරිදි මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් චක්‍රලේඛයක්ද නිකුත්ව ඇත. එදාට වඩා ඒ වරප්‍රසාද අඩු බව අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවත් විපක්ෂයෙන් ඇසුණේ එය ඉස්සරට වඩා වැඩි බවය. ඒ ගැන වාදයක්ද ඉල්ලා සිටි මන්ත්‍රීවරයාගෙන් අපට ද ඇසීමට ඇත්තේ ඔවුන් ඇමැති ධුර හෙබවූ යුගවල එබඳු දේ සිදු වී නැද්ද? යන ප්‍රශ්නය පමණි.
කෙසේ හෝ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම නීත්‍යානුකූලව සිදුකිරීම ගැන කිසිවකට දොස් කිව නොහැක. මහින්දට මෙන්ම චන්ද්‍රිකා ඇතුළු තවත් නායකයන්ට දේශපාලන රැකවරණ ලබාදීමට වුවමනා නම් එය කළ යුතු බව ද අපි අවධාරණයෙන් සඳහන් කරමු. විධායක ජනාධිපතිවරයකු තබා දේශපාලන ක්‍රියාකාරකම් නිසා කිසිවක් සරණගතයන් බවට පත්විය යුතු නැත. සිය ජීවිත සැඳෑව දුක සේ ගෙවූ එබඳු අය ගැන ද අපි දනිමු. මව්පියන්ට, දෙගුරුන්ට, වැඩිහිටියන්ට ගරු කිරීම අපේ සංස්කෘතියේද ප්‍රබල ලකුණකි. කිසිවකුගේ හව්හරණක් නොමැතිව එබඳු සත්ක්‍රියා ඉටු කරන අය සමාජයේ සිටිති. තම දෙමව්පියන් අනාථ නිවසක රඳවා සිටින අය මෙන්ම ඔවුන් මහමඟ අතරමං කර යන අසත්පුරුෂයෝ ද සිටිති. කුමක් වුවත් මහින්ද, චන්ද්‍රිකා ඇතුළු ඒ සියල්ලන්ට ම යැපීම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවක්ද නොපෙනේ. එසේම ඔවුන් සඳහා සාධාරණ ඇගැයීමක් ජනතාවට ද තිබේ. මතු යම් දිනක ඔවුන්ට ජනතා බුහුමනක් හිමි වන්නේ ද ඒ ජන මෙහෙවරට බවද කිව යුතුය.
බුදුන් වහන්සේ වදාළ පරිදි පවක් නැතහොත් අපරාධයක් කොට සැඟවීමට තැනක් ලෝක ධාතුවෙහිම නැති බවයි. අහස, මුහුද මැද, පර්වත කුහරයක ආදී කොතැනක සැඟවුණත් එයට විපාක දෙන බවය. එහෙත් දසක ගණනාවක් මෙරටේ දේශපාලන හා සමාජ අපරාධකරුවෝ සැඟවී සිටියහ. ඒ ඉහත කී ආකාරයේ ස්ථානවල නොව මේ සමාජයෙහිමය. එයට හේතු වූයේ නීතිය බලාත්මක නොවීමය. ඒනිසා කෙබඳු යහපත් දෙයක් කර තිබුණත් එයට මුවා වී අපරාධ – වැරදි කිරීමට ඉඩක් නැත. අපරාධ, අනීතික ක්‍රියා පිළිබඳ දේශපාලනඥයන්ට නැඟෙන චෝදනා බොහෝය. අද ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් තිබේද? එසේම දේශපාලනය නිසා ඇතැම් අපරාධකරුවන්ට සමාජ මතුමහලට නැඟීමට ද වරමක් ලැබුණි. සත්‍ය අසත්‍යයෙන්ද ධර්මය අධර්මයෙන්ද වැසුණු සමාජයක් කෙතරම් බිහිසුණු දැයි අපි දනිමු. මේ අධම, අශිෂ්ට දේශපාලන ක්‍රමය වෙනස් වියයුතු බව පක්ෂවල වහලුන් වී සිටින අය හැර හැම ප්‍රබුද්ධ පුරවැසියකුගේම අපේක්ෂාවය.
කෙසේ හෝ වේවා හිටපු ජනාධිපති මහින්දගේ අතීත දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තිබෙන විවේචන චෝදනා දේශපාලන වේදිකාවෙන් පිටතට පැමිණ ඒවා විමර්ශනය කිරීම ගැන මෙන්ම ඔහුට හිමි ව්‍යවස්ථානුකූල හිමිකම් සමාලෝචනය කිරීම දේශපාලන පළිගැනීම් ලෙස දැක්විය යුතු නැත. මේ වනවිට පසුගිය පාලන යුගවල ඇමැති ධුර හෙබ වූ තවත් කීපදෙනෙක් ද රහස් පොලිසියට කැඳවනු ලැබ සිටිති. මේවා වසර ගණන් පැරණි අතීතය දක්වා ඇදී යන අනීතික ක්‍රියා බවද පෙනේ. එහෙත් දේශපාලන බලය යොදා යටපත් කරන ලද එබඳු දේවල්වලට අදාළ විමර්ශන හා වැරදිකරුවන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබාදීම නොමැනවයි කිව හැකිද?
අප අවසන් වසයෙන් අවධානය යොමු කරන්නේ මේ දිනවල ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබෙන සජබ හා එජාප එක්වීමේ සාකච්ඡා කෙරෙහිය. මේ සාකච්ඡා කිසියම් ප්‍රතිපත්තියක් මත පදනම්ව සිදුවන්නේ දැයි අප නොදනිමු. අපට පෙනෙන හැටියට නම් මේ එකම කණ්ඩායමක් ලෙස සිටි අය වෙනම දේශපාලනයේ නිරතවීම නිසා ඔවුන්ට සිදුවූ දේශපාලන පරාජය පිළිබඳ කියවීමෙන් පසු මේ පියවර ගත් බවය. හිටපු මන්ත්‍රීවරයකු වන පාඨලී චම්පික පැවසුවේ ද මේ ආණ්ඩුවට එරෙහිව කඳවුරු බැඳීමට වඩා කිසියම් සාධනීය වැඩපිළිවෙළක් අනුව විපක්ෂ එක්විය යුතු බවය. කුමක් වුවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයට එක්ව මුහුණ දී තම බලය රැක ගැනීමට එජාපයට අවශ්‍යව තිබිය හැකිය. අද පාර්ලිමේන්තුවේ හෝ එජාප නියෝජනයක් නැත. නුවරඑළියෙන් පත්වූ එජාප මන්ත්‍රීවරයෙක් සිටියත් එජාපය තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හෝ එජාපය පිළිගත් නියෝජනයක් නැත. රවි කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටියත් ඒ සම්බන්ධයෙන් එජාපයේ මුල්පෙළට ගැටලුවක් තිබෙන බවද පෙනේ.
මේ දේශපාලන කැළඹීම්, විවේචන, චෝදනා අතරම ආණ්ඩුවට තවමත් කළමනාකරණය කරගත නොහැකි වූ හාල් ප්‍රශ්නයත් ඊට අමතරව පොල් හිඟයකුත් සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු වී තිබේ. හාල් මෝල් ඒකාධිකාරය බිඳ ලීමට ආණ්ඩුව දැඩි පියවර ගන්නා බවක්ද කියති. හමුදාව යොදා හෝ ඒවා පාලනය කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එසේම සහතික මිලක් මෙතෙක් වී සඳහා නොලැබීම පිළිබඳ ගොවීහු අප්‍රසාදය පළ කරමින් ද සිටිති. මේ වනවිට ජනතාවට ලැබී තිබෙන එකම සහනය විදුලි බිල සියයට 20කින් අඩුවීම පමණි. ඒ සහනය පොදුවේ ක්ෂේත්‍ර ගණනාවකටම ලැබී තිබේ. එදා විදුලිබිල අඩු කිරීමට යෝජනා කළ මහජන උපයෝගිතා කොමිසම් සභාපති ජනක රත්නායක එම ධුරයෙන් නෙරපීමට අත එස වූ අයත් අද මේ ගැන ආණ්ඩුවට දොස් නඟති. ඒ සමගම ජනාධිපති අනුරගේ චීන සංචාරයෙන් රටට ලැබුණු ඇතැම් දේවල්වලට හිමිකම් කියන පරාජිත දේශපාලන චරිත කීපයක් ද සිටිති. ඒවා මේ පවතින දේශපාලනයේ සාමාන්‍ය දේවල් පමණි. එහෙත් ආණ්ඩුව කියන සමාජ දේශපාලන පුනරුදය සමග ම මෙරටේ බහුතර ජනතාවගේ පීඩනය ගැන ද කල්පනා කළ යුතුය. ඇත්තටම මෙතෙක් පාර්ලිමේන්තු භෝජනාගාරයේ ලැබුණු ආහාර වේලට මිලක් නියම කිරීම ද ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවීමට හේතු වන්නකි. ජනතාවගේ මුදලින් සියලු වරප්‍රසාද ලබාගත් ඒ යුගය නිමා කළ යුතුමය. ගෙවල් ගැන කියනවිට ඒ අයට ජුවල් යෑම පුදුමයක් ද නොවේ. එහෙත් මෙරටේ ගෙවල් නැති ජනතාවක් ද සිටිති. එමතු නොව තුන්වේලට ළිප ගිනි නොඇවිළෙන ගෙවල් – ගෙවල් කීවාට පැල්පත් ද තිබෙන බව ද අප සඳහන් කළ යුතුය.