මීළඟ පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහා පැවැති මහ මැතිවරණය ඊයේ හවස අවසන් විය. අද උදේ ඔබ මේ කතුවැකිය කියවන අවස්ථාව වන විට ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතී. කවරෙක් ජයග්‍රහණය කළේ ද යන්න කීමට තවමත් උදය වැඩිය. අප විසින් කලින් ද කියන ලද පරිදි පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාව ජනතා විමුක්ති පෙරමුණට හිමිවීමට ඉඩ තිබිණ. මෙවර මැතිවරණයේ දී ඡන්දය දීමට වරම් ලැබ සිටි ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන 1,71,40,354 කි. ඊයේ පැවැති මහ මැතිවරණයට සති කිහිපයකට පෙර, අනුර දිසානායක ජනාධිපති බවට පත් කළ ජනාධිපතිවරණය පැවැත්විණ. එහිදී දෙවැනි මනාපය ගණන් කිරීමෙන් පසු අනුර දිසානායක ජනාධිපති තනතුරට සුදුසුකම් ලැබුවේය. අලුත් ජනාධිපති මාසයක් තුළ ප්‍රාතිහාර්ය බොහෝමයක් පෙන්වනු ඇතැයි මිනිස්සු කල්පනා කළහ. එහෙත් මේ රටේ තිබෙන ප්‍රශ්නවල ප්‍රමාණය හැටියට ශක්‍ර දෙවියන් ජනාධිපති වුවද ප්‍රාතිහාර්ය පෑමට හැකි වන්නේ නැත. දැනට මේ රටේ බලවත්ව සිටින්නේ යම රජ්ජුරුවන්ගේ ආධිපත්‍යයි. එම ආධිපත්‍ය බිඳීම සඳහා ජනාධිපති අනුර දිසානායකට තවත් කිසියම් කාලයක් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ජනාධිපති දිසානායකගේ ආණ්ඩුව ගැන අපට කළ හැකි එක රෙකමදාරුවක් තිබේ. එනම් ඔහු සහ ඔහුගේ ආණ්ඩුව දූෂණවලට ඉඩ නොදෙන බවය. සමහර විට දූෂිතයන් අසුවුවහොත් ඔවුන්ට දරුණු දඬුවම් ලැබීමට පවා ඉඩ තිබේ. වාමාංශික මතධාරී ආණ්ඩුවක් පත්වුණු හැම රටකම ටික කලක් යන විට පරණ පුරුදු දූෂණ හිස ඔසවන්නට පටන් ගත් අවස්ථා තිබේ. රුසියාවේ මෙය මෙසේම සිදුවිය. චීනයේ මෙය අදටත් සිදුවෙමින් පවතී. දැනට කොමියුනිස්ට් කොරියාව ලෙස පෙනී සිටින උතුරු කොරියාවේ ද මෙය මෙසේම සිදුවෙමින් පවතී. චීනය සහ උතුරු කොරියාව ආර්ථික දූෂකයන්ට පුංචි ඉඩක්වත් දෙන්නේ නැත. කේස් එකක් ෆයිල් වූ විට එම දූෂකයන් රොත්තු පිටින් අල්ලා ගෙන විත් නඩු අසා වෙඩි තබා මැරීම මේ රටවල් දෙකේම සිරිත ය. උතුරු කොරියාවේ තරුණ රාජ්‍ය පාලකයා දේශපාලන පිස්සකු බවට මතයක් පවතී. එහෙත් දූෂණය පිටු දැකීම සඳහා ඔහු ගන්නා දැඩි පියවර ගැන අප තුළ මහත් ගෞරවයක් තිබේ. චීනය හෝ උතුරු කොරියාව තරම් දරුණුවට නොවුණත් ලංකාවේ ආර්ථික දූෂකයන් සහ ආර්ථික ඝාතකයන් සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීම ජනාධිපති දිසානායක කළ යුතුමය. මෙය පරිස්සමෙන් කළ යුතු කාරියකි. මෙබඳු ක්‍රියා මාර්ගවලට අධිරාජ්‍යවාදී පාලකයන් විරුද්ධය.
කොංගෝවේ ප්‍රගතිශිලී පාලක පැටි්‍රස් ලුමුම්බා සිද්ධිය ඔබට මතක ද. කොංගෝවේ බලකාමී සහ අධිරාජ්‍යවාදී කොම්ප්‍රදෝරු කැනහිල් ආණ්ඩුව බලයෙන් නෙරපා එරට නායකත්වය අතට ගත් පැටි්‍රස් ලුමුම්බාට තම රට තුළින්ම පහළ වූ ප්‍රතිවිප්ලවවාදීන් වෙතින් මැරුම් කන්නට සිදුවිය. ඒ නිසා ජනාධිපති දිසානායක අද පටන් ඉදිරියට තබන හැම අඩියක් පාසාම කල්පනාකාරී විය යුතුය.
ඊයේ පැවැති මහ ඡන්දය නිම වූ බැවින් අද දවස ඡන්දානන්දය ලෙස සැලකිය හැකිය. ඡන්දානන්දය යනු කුමක්ද? ඡන්දයේ ආනන්දය විඳීමය. ඡන්දය දවසේ බාර් වසා තිබුණ ද අපේ කට්ටිය ඊට පෙර දවසේ ඇති තරම් අරක්කු ගබඩා කළහ. මේ අනුව අපේ රටේ නාගරිකය ඡන්ද රාත්‍රිය සම්පූර්ණයෙන්ම පහන් කළේ අරක්කුවලිනි. මේ අරක්කුවලට බයිට් බවට පත්වීම සඳහා දස දහස් සංඛ්‍යාත ගවයෝ ද, ලක්‍ෂ සංඛ්‍යාත කුකුළෝ ද ජීවිත පූජා කළහ. ඌරු උණ නිසා ඌරෝ දිවි ගලවා ගත්හ. එහෙත් ඌරු උණ අවදානම පහව ගිය සැනින් ඒ සියලු සතුන් යළි මරන්නට පටන් ගන්නවා ඇත. තත්ත්වය මොකක් වේවා පළවෙනි ඡන්ද ප්‍රතිඵලය එන විට බාගෙට කරටි කඩාගෙන සිටි අපේ නාගරිකයේ නිකට එළි වන විට සම්පූර්ණයෙන්ම බිම ඇනී තිබිණ. මෙය 1977 න් පසු මේ රටේ ඇති වූ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේ නිල නොවන කොටසකි. 1977 න් පසු මේ රටේ මුදල් සංසරණය වැඩි විය. අරක්කු නිෂ්පාදනය ද වැඩි විය. ඒ නිසා ඕනෑම උත්සව අවස්ථාවක දී එකී උත්සවය අරක්කුවලින් නෑවීමේ සිරිතක් ඇති විය. අපේ කට්ටිය කවරකු විසින් අලුත් ආණ්ඩුව පිහිටුවන ලද්දේ ද යන්න දැන ගන්නේ අද හවස් වන විට වෙරි සිඳී ගිය පසුය.
මෙවර මහ මැතිවරණය පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අල්ප වූ සමයකි. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද ඇති නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනාව විය. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් කළ හැකි මඟුලක් නැත. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් කළ හැක්කේ ගමකට ගුටි කෑම පමණි. 1977 සිට අපේ රට වැසියෝ මේ අත්දැකීම ලබා ඇත්තාහ. ඡන්දානන්දය විඳින මේ මොහොතේ දී අප සියලු දෙනාම කළ යුත්තේ ඊළඟට මේ රටේ බලයට පත් වන ආණ්ඩුවට සහයෝගය දෙමින් හෝ එයට විරුද්ධ වෙමින් හෝ රට ඉදිරිය ගෙන යෑම පමණි. ලංකාව මේ මොහොතේ දී පත්ව තිබෙන අසීරුව හැමෝම දනිති. රාජ්‍ය පාලකයාට පවා වෙළෙන්දන් අවනත වන්නේ නැත. ආණ්ඩුවට රජයේ සේවකයන් අවනත වන්නේ නැත. ජනාධිපති දිසානායක හාල් මිල අඩු කිරීමට කවර උත්සාහයක් ගත්ත ද හාල් ව්‍යාපාරිකයෝ එම පියවර ඉදිරියෙහි නොනැමී වී ගස් මෙන් නොව ඊ ගස් මෙන් සිටගත්හ. ආණ්ඩුවට වඩා ව්‍යාපාරිකයා බලවත් වීම ඉතා නරක තත්ත්වයකි. රජයට වඩා නිලධාරී පැලැන්තිය බලවත් වීම වඩාත් භයානක තත්ත්වයකි. සෝවියට් දේශයට කෙළවුණේ නිලධාරී පැලැන්තිය බලවත් වීම නිසාය. පසුගිය දා මතුගම කලාපයේ පාසල්වල වාර විභාගයේ ප්‍රශ්න පත්‍රවල මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රශ්න පහක් අන්තර්ගත වී යැයි කියනු ලැබේ. මෙය ජනාධිපතිගේ හෝ ඔහුගේ කුඩා කැබිනට් මණ්ඩලයේ අනුදැනුමෙන් කරන ලද්දක් බව අපි විශ්වාස නොකරමු. මේ අතර එය කිසිසේත්ම ගණන් නොගත යුතු ක්‍රියාවක් බව ඇතැම් ගුරු සංගම් ප්‍රධානියකුගේ මතය වී තිබිණ. මේ ගුරු සංගම් ප්‍රධානියා සමගි ජන බලවේගයට සෙට් වී සිටි මහතෙකි. ඔහු ඊළඟට සෙට් වෙන්නට යන්නේ ආණ්ඩුව සමග බව පෙනී යයි. ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව ද්‍රෝහීන්ගෙන් පරිස්සම් විය යුතුය. ජනතාවාදී ලේබල් එකක් එල්ලා ගෙන එන ඇතැමුන්ගේ හම යට වෘකයන් නොව කපටි නරින් ද සිටිය හැක. ඡන්දානන්දය විඳින මේ සමයේ දී මේ ගැන ද සිතා බැලීම අපේ පාලකයන්ගේ වගකීමය.