ඔන්ලයින් පනතින් සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස අහිමි වෙනවා

129

වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණයකින් හෙළිවේ

මාර්ගගත සුරක්‍ෂිත භාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්‍ෂණයකට සහභාගි වූ සියයට පනස් හයක් (56%) ප්‍රකාශ කර ඇතැයි අනාවරණය වෙයි.

මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඔබ ඒ ගැන දන්නවාද? යන පැනයට සමීක්‍ෂණයට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක් (34%) ‘ඔව්’ යැයි පිළිතුරු දී තිබේ.

එසේ ‘ඔව්’ යැයි පිළිතුරු ලබාදුන් අයගෙන් 56% ක් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහසත් ඉන් අඩුවෙයි’ යැයි කියා ඇත. ‘එයින් වැඩි වෙනසක් සිදු නොවේ’ යැයි 25% ක් කියා ඇත. 19% දෙනෙක් කියා ඇත්තේ ‘සමාජ මාධ්‍ය අවභාවිතා වීම ඉන් අඩුවනු’ ඇති බව යයි ‘වෙරිටේ රිසර්ච්’ සඳහන් කරයි.

ගෙවුණු සැප්තැම්බර් මස 18 වැනිදා ගැසට් කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත පසුගිය ඔක්තෝබර් මස 3 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදු විය. මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම මින් අරමුණු කෙරෙන අතර එයට සුවිශේෂී බලතල සහ කර්තව්‍යයන් පනතින් හිමිකර දී ඇත.

පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනත සම්මත කර ගැනීමට එහි සඳහන් වගන්ති 31ක් සංශෝධනය විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පනත දැනට පවත්නා තත්ත්වයෙන්ම සම්මත කර ගැනීමට නම් එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment