නැෂනල් සුපර් ලීග් සිව් දින තරගාවලිය යාපනය පළමු ජයග්‍රහණය ලබයි

75

දඹුල්ල – කොළඹ විසඳුමක් නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම ඊයේ (27 වැනිදා) සමත් විය.

පැතුම් නිශ්ශංක නායකත්වය දරන නුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 164 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් යාපනය ක්‍රීඩකයෝ එම දස්කම දැක්වූහ.

දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

නුවර කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 234කින් නිමාවූ අතර ඒ අනුව නුවර කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 394ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹා ගිය නුවර ඉනිම පන්දු වාර 53.2 කදී ලකුණු 229 කට සීමා කිරීමට යාපනය පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී කැපී පෙනුණු ශෂික දුල්ශාන් ලකුණු 99 කට කඩුලු 6ක් දවා ගත්තේය.

නුවර කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 116 රැස් කිරීම ඒ අතර කැපී පෙනුණි. 4 පහර 11ක් සහ 6 පහර 5 ක් අහන්ගේ හුදෙකලා ඉනිමට ඇතුළත් විය.

දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරගයේ දඹුල්ල කණ්ඩායමේ දෙවැනි ඉනිම පන්දු වාර 61 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 210 ක් ලෙස තිබියදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 530 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දු වාර 120.1 කදී ලකුණු 445 ක් ලබා ගත්තේය.

තෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 388ක් ලබා සිටි කොළඹ කණ්ඩායම ඊයේ දිනයේදී තවත් ලකුණු 57 ක් තම කණ්ඩායම සඳහා එකතු කර ගත්තේය.

ඊයේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි ඉනිමේ දී ශතකයක් වාර්තා කිරීමට සොනාල් දිනූෂ සමත් වූ අතර පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු තුන බැගින් දවා ගත්හ.

ලකුණු සාරාංශය

යාපනය නුවර තරගය

යාපනය කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 346 (104.2)

නිශාන් මදුශ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ලහිරු මධුශංක 67, චාමික ගුණසේකර 2/42, චාමික කරුණාරත්න 3/51, ලසිත් ඇඹුල්දෙණිය 2/103, අශේන් ඩැනියෙල් 2/66

නුවර කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (67.1)

ලහිරු උදාර 23, සහන් ආරච්චිගේ 22, අහන් වික්‍රමසිංහ 51, චාමික කරුණාරත්න 25, චාමික ගුණසේකර 29, ප්‍රමෝද් මධුශාන් 2/25, ශෂික දුල්ශාන් 2/46, ජෙෆ්රි වැන්ඩර්සේ 4/51

යාපනය කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 234 (68.0)

හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 60, ධනංජය ද සිල්වා 37, රවිඳු ප්‍රනාන්දු 22, ලසිත් ඇඹුල්දෙණිය 2/88, සිතුම් දිසානායක 2/21, චාමික ගුණසේකර 3/43, චාමික කරුණාරත්න 2/31

නුවර කණ්ඩායම – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 229 (53.2) අහන් වික්‍රමසිංහ නොදැවී 116, ලහිරු උදාර 25, ශෂික දුල්ශාන් 6/99

දඹුල්ල කොළඹ තරගය

දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 530 (153.0)

ලියෝ ෆ්‍රැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් 146, පවන් රත්නායක 130, ඉසිත විජේසුන්දර 3/69, ලක්ෂිත මනසිංහ 3/129, ප්‍රභාත් ජයසූරිය 2/103

කොළඹ කණ්ඩායම සියලු දෙනා දැවී – පළමු ඉනිම 445 (120.1) දිමුත් කරුණාරත්න 161, ශෙවෝන් ඩැනියෙල් 23, කුසල් මෙන්ඩිස් 80, නුවනිඳු ප්‍රනාන්දු 39, පැතුම් කුමාර 39

දඹුල්ල කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 8 ක් දැවී 210

සොනාල් දිනූෂ 100

කසුන් රාජිත 3/29, ප්‍රභාත් ජයසූරිය 3/38
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment