තොත්තු සේවාව

1434

මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිට දුරකථන ඇමතුම් ඔස්සේ රට රැකියා පොරොන්දු වී ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයකු නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මූ නම් මාරම පොරකි. ආතල්ම භාණ්ඩයකි. මෙවැනි චූන් දෙන අය අපරාධ ක්‍ෂේත්‍රයේ බෙහෙවින් විරල ය. මෙවැනි වංචාවලට අහුවෙන උන් ද මැටි හරක් ලෙස නම් කළ හැකිය. මල්වතු මහානායක හාමුදුරුවන් කරන්නේ මල්වතු විහාරය පවත්වාගෙන යෑම, ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් කැපවීම සහ ධර්ම ප්‍රචාරක කටයුතු ය. ඒ හැරෙන්නට උන්වහන්සේ කිසි කලෙකත් රැකියා ඒජන්සියක් පටන්ගෙන නැත. අපේ රටේ සිටින බටුහරක්ට මේ බව නොතේරීම ඉතාම පුදුම සහගත ය. ඒ අතර පසුගිය දිනවල මේ රටේ ජනතාවට මාරම ආතල් එකක් දුන් තවත් ප්‍රකාශයක් ගැන සඳහන් කරමු. මේ ප්‍රකාශය කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් නමැති උගත්, දක්‍ෂ තරුණයා ය. විදේශ අමාත්‍ය අලි සබි්‍ර කැනඩාවට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශයක් නිසා මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා කිරීමට ඇති අවස්ථාව අහිමිවනු ඇතැයි මන්ත්‍රීතුමා කියා තිබේ. ඉන්දියාව සහ කැනඩාව අතර මේ දිනවල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පවතී. මේ නිසා රටවල් දෙකම එකිනෙකා අතර වීසා සම්බාධක පනවා ඇත. මේ සිද්ධියේදී විදේශ ඇමැති අලි සබි්‍ර ඉන්දියාවට පක්‍ෂව ප්‍රකාශයක් සිදුකළේ ය. ලංකාව ඉතා පුංචි රටක් බැවිනුත්, සුළුතර ආර්ථිකයක් ඇති රටක් බැවිනුත් ජාත්‍යන්තර දේශපාලනයේදී බෙලහීන තත්ත්වයක සිටින බැවිනුත් අලි සබි්‍රගේ ප්‍රකාශය කැනඩාව දන්නේවත් නැතුව ඇති. මේ මොහොතේදී කැනඩාවට වඩා හැම අතින්ම ඉන්දියාව බලවත් ය. ලෝකයේ වැඩිම ජනගහනය ඉන්දියාවේ වෙසෙති. එසේම ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය ඉන්දියාව ය. එමතුද නොව කැනඩාවේ යුද බලයට වඩා ඉන්දියාවේ යුද බලය වැඩි ය. කැනඩාව අපට ලෙඩ දමනවා මිස උදව් නො කරයි. මේ ළඟදී ද කැනඩාව අපට ලෙඩක් දමමින් යුද සමයේදී දෙමළ ජනයා සමූල ඝාතනය කළ බවට චෝදනා කළේ ය. කැනඩාව මෙසේ කරන්නේ එරට තිබෙන දෙමළ ඡන්ද පදනම ආරක්‍ෂා කර ගැනීමට ය. ඉන්දියාව යනු අපට උදව් කරන රටකි. මෙයට කලකට ඉස්සර ලංකාව කෙළවූ ඉන්දියාව ඒ කෙළවීම පවා ප්‍රභාකරන් හරහා බැලන්ස් කළේ ය. ගෝඨාභයගේ කාලයේදී අපට කන්න නැතිව සිටින විට වහාම ඩොලර් බිලියන 03 ක ආධාරයක් කළේ කැනඩාව නොව ඉන්දියාව ය. එසේම මේ රටේ ඇතිවන ඕනෑම වසංගත තත්ත්වයක් හෝ වෙනත් කරදරයකදී ඉන්දියාවට චුරු චුරු ගා ගාණක් කපා ගැනීමට අපට පුළුවන. මේ සියලු කරුණු සලකා බැලීමේදී රාසමානික්කම් ගේ කැනේඩියානු වීසා ආතල් එකට වඩා අලි සබි්‍රගේ ඉන්දියානු පක්‍ෂපාතී ආතල් එක ඉතා වටිනා බව කිව යුතුය. රාසමානික්කම්ලා යනු ගහකින් ගෙඩියක් වැටුනත් ගහට සහ පොළවට යන දෙකටම සාප කරන දේශපාලනයක දරුවෝ වෙති. ඒ නිසා රාසමානික්කම් අමතක කර අපි වෙනත් වැදගත් කතාවකට හැරෙමු.

ශ්‍රී ලංකාවේ යුද හමුදා බලය 50% කින් අඩු කිරීමටත්, මේ රටේ සිටින සෙසු හමුදාවල බලය ද ඒ ආකාරයෙන් ම අඩු කිරීමටත් ආණ්ඩුව කටයුතු කරන්නේ යැයි කතන්දරයක් පවතී. මෙය මේ දිනවල ක්‍රමයෙන් බුබුළු දමමින් පවත්නා කතන්දරයකි. ඉන්දියාවට විශාල යුද හමුදාවක් සිටී. එහි පාබල හමුදාව පමණක් ලක්‍ෂ 15 ඉක්මවයි. එයට හේතුව ඉන්දියාව හතර වටේ තියෙන රටවල්වලින් වැඩි හරියක් ඒ රට සමඟ යුද වැදීමට කැමැත්තෙන් සිටීම ය. උදාහරණයක් ලෙස ඉන්දියාව සහ චීනය අතර දේශපාලන අර්බුද පවතී. ඉන්දියාව සහ පාකිස්ථානය අතර ද සන්නද්ධ අරගල පවතී. බංග්ලාදේශය හා ඉන්දියාව අතර ගැටුමක් ඕනෑම වේලාවක ඇති වීමට පුළුවන. ඉන්දියාව සමඟ යුද නොවැදීමේ අපේක්‍ෂාවෙන් සිටින්නේ දුප්පත් නේපාලයත්, අහිංසක ලංකාවත් පමණි. ලංකාව මේ වෙලාවේදී ජනවාර්ගික යුද්ධය පරදවා ජයග්‍රහණය වාර්තා කළ රටකි. අද එල්.ටී.ටී.ඊ. සංවිධානය නාමිකව පමණක් පවතින අතර, එහි දේශපාලන බළල් අත වූ දෙමළ සන්ධානය පාර්ලිමේන්තුවේ සිටියි. මොළය පාවිච්චි කරන දේශපාලනඥයකුට දෙමළ සන්ධානයේ ළමයි ටික කීකරු කර ගැනීමට පුළුවන. එබැවින් දෙලක්‍ෂයක පිරිස් බලයක් ඇති ශ්‍රී ලංකා යුද හමුදාව 50% කින් බැස්සවීම වරදක් ලෙස අප ද දකින්නේ නැත. මන්ද අපට තිබෙන්නේ රට තුළ හට ගන්නා ප්‍රශ්නවලට මැදිහත්වීමට අවශ්‍ය යුද හමුදාවක් පමණකි. වෙනත් රටක් සමඟ යුද කරගැනීමේ යුද්ධ හමුදාවක් අපට අවශ්‍ය නැත. ලංකාවට අවශ්‍ය වන්නේ හොඳ ඔත්තු සේවයක් පමණි. රට තුළ ඇතිවන කැරලි, ජනවාර්ගික යුද්ධ සහ වෙනත් දේශපාලන ප්‍රහාර ගැන කල්තියා දැන ගැනීමට හොඳ ඔත්තු සේවාවලට පුළුවන. එහෙත් පාස්කු බෝම්බය ගැන කල්තබාම දැන සිටි නමුත් එහි විභවය ගැන කවුරුවත් කල්පනා කළේ නැත. මේ නිසා එම බෝම්බය පුපුරා ගිය අතර එහිදී අපට අලුත් සතුරෙක් ද ලැබිණ. ඒ වූ කලී අපේ කාදිනල්තුමා ය. පාස්කු බෝම්බකරුවන්ට නිසි දඬුවම් නොලැබීම නිසා මැල්කම් රංජිත් කාදිනල්තුමා සිටින්නේ බලවත් කෝපයෙනි. දෙව්ලොවින් දේවදූතයන් පැමිණ කාදිනල්තුමාට කතා කළත් උන්වහන්සේ ෂේප් වන්නේ නැත. හොඳ ඔත්තු සේවයක් තිබුණ විට ඕනෑම දෙයක් කල්තබා මර්දනය කළ හැක. ඊශ්‍රායලයට මිලියන ගණන් හමුදා නැත. ඔවුන්ට ලෝකයේ හොඳම ඔත්තු සේවාවලින් එකක් තිබේ. මොසෑඩ් සංවිධානය නමැති එම ඔත්තු සේවය ඊශ්‍රායල භූමියට එරෙහිව හටගන්නා ඕනෑම ප්‍රචණ්ඩ තත්ත්වයක් එය හට ගැනීමට බොහෝ කලින් බිමටම සමතලා කරයි. ඒ නිසා යුද තත්ත්වයක් ඇති නොවන අතර යුද සෙබළුන් ද අවශ්‍ය වන්නේ නැත. ලංකාව ද සිය ඔත්තු සේවය වහාම දියුණු කළ යුතුය. පාස්කු බෝම්බයෙන් පසු අපගේ ජාතික ඔත්තු සේවාවන් පවතින්නේ ඔත්තු සේවාවන් ලෙස නොව තොත්තු සේවාවන් ලෙස ය.

advertistmentadvertistment
advertistmentadvertistment