මුහුදේ ගිලී මියගිය පාසල් සිසුවාගේ සහ රුසියානුවාගේ සිරුරු හමු වෙයි

143

කොග්ගල මෝය අසල සහ හබරාදුව නගරය ආශ්‍රිත මුහුදු තීරයේ දියනාමින් සිටියදී ඉකුත් 29දා පාසල් සිසුවකු හා විදේශිකයකු දියේ ගිලී මියගොස් ඇති බව හබරාදූව පොලිසිය පවසයි. ඔවුන්ගේ මළසිරුරු පෙරේදා (30දා) හමුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මිල්ලගහමුල්ල, ගණිතපුර වරකාපොල ලිපිනයේ පදිංචි රවිචල්වම් ශිවා ආකාශ් (14) නමැති පාසල් සිසුවකු සහ 43 හැවිරිදි වියේ පසුවූ රුසියානු ජාතිකයෙකි. මියගිය පාසල් සිසුවා තම දෙමව්පියන් හා ඥාතීන් සමග විනෝද චාරිකාවක් සඳහා පැමිණ කොග්ගල මෝය කට ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහකරට හසුවී ගසාගෙන ගොස් තිබේ. මෙම සිසුවාගේ සිරුර අහංගම කතලුව පාලම අසල වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත.

දියේ ගිලී මියගිය රුසියානු ජාතිකයා හබරාදුව නගරය ආසන්න මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් කරාපිටිය රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බව පොලිසිය පවසයි.

මියගිය පාසල් සිසුවාගේ සහ විදේශිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment