ගංජා බිස්නස් කළ ප්‍රභූ ආරක්‍ෂක සාජන් ඔක්කම්පිටියේදී දැලේ

64

ගංජා ව්‍යාපාරයේ නිරත වූ බව කියන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනකු ඔක්කම්පිටිය පොලිසිය මගින් පෙරේදා (30දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ඇමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයා සහ තවත් දෙදෙනකු ත්‍රිරෝද රථයක යමින් සිටියදී ඔක්කම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් නවතා පරීක්ෂා කිරීමේදී එම ත්‍රිරෝද රථයේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙම ගංජා

මාලිගාවිල ප්‍රදේශයෙන් ලබාගත් බවත්, ඒවා මහා රාගල ප්‍රදේශයට රැගෙන යමින් සිටි බවත් සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත. සැකකාර ඇමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන අයෙකි.

සැකකරුවන් සහ වියළි ගංජා තොගය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහෙස්ත්‍රාත් මාලනී තෙන්නකෝන් මහත්මිය හමුවේ පළමු සැකකරු වන පොලිස් සැරයන්වරයා චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කිරීම නිසා රුපියල් ලක්ෂ 03 සහතික ඇප මත මුදාහරිනු ලැබීය. සෙසු සැකකරුවන් දෙදෙනා වරද පිළිගත් හෙයින් දඬුවම් නියම කිරීම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ලබන 06 දාට කල් තැබුවාය. පළමු සැකකරුට විරුද්ධව නඩු විභාගය 04 දා පැවැත්වේ. ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ආර්. සුමුදු ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු සහ බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment