යුක්තියේ දෙවඟන දුන් විශිෂ්ට තීන්දුව

1418

කොළඹ නගරයේදී බෝම්බයක් පුපුරුවා හැරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයකු එම සිද්ධියට ඔහු සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි නොමැති බවට පවසා වසර 17 කට පසු ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ගත් තීන්දුවක් පිළිබඳව ඉකුත් සෙනසුරාදා දිවයින මුල් පුවතින් වාර්තා කෙරිණි. මෙම සිද්ධියටම සම්බන්ධ බවට ඔහු සමග වසර 15 ක් අත්අඩංගුවේ පසු වූ තවත් තරුණයන් දෙදෙනකුද මේ අනුව මේ සමගම නිදහස ලැබූහ.

මොවුන් තිදෙනා අත්අඩංගුවට පත්වන්නට හේතුව 2006 වසරේදී එවකට හිටපු ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් බසීර් අලි මොහොමඩ් මහතා ඝාතනය කිරීමට ත්‍රිරෝද රථයක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරීම ය. එම අනතුරින් මහ කොමසාරිස්වරයා සුළු තුවාල ලබා දිවි ගලවා ගත් නමුත්, ඔහුගේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් කිහිප දෙනකු මියගොස් තිබිණි.

එසේ හෙයින් මහ කොමසාරිස්වරයා ඝාතනයට තැත්කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා 25 ක් යටතේ ඉහත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබූ අතර, වසර 17 ක් තිස්සේ අධිකරණයේදී අසන ලද මෙම නඩුව වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත ඉහත තරුණයන් තිදෙනා රඳවාගෙන සිට ඇති අතර, අවසානයේ එය ඔප්පු කරගත නොහැකි පදනම මත ඔවුන් නිදොස් කොට නිදහස් කර ඇත. මෙසේ නිදහස ලබන අප මේ කියන තරුණයා එනම්, කනගරාජා ආධිත්‍යන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කනගරත්න මහතාගේ පුතෙකි.

අප මේ කාරණය සමග කියන්නට යන්නේ කළ හෝ නොකළ වරදකට එසේත් නැතිනම් අධිකරණය හමුවේ පැහැදිලිව ඔප්පු කරගත නොහැකි නඩුවක සැකකරුවකු කර අත්අඩංගුවට ගන්නා කවුරුන් හෝ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටීම හෝ එසේ දීර්ඝ කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම බරපතල මානව හිමිකම් කඩකිරීමක් නොවන්නේද යන්නයි. ඉහත තරුණයා ගැන හෝ එම තරුණයන් තිදෙනා ගැනම අප කතා කළහොත්, වසර 15 කට වැඩි කාලයක් ඔවුන් සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටීම මොන තරම් මානව හිමිකම් කඩවීමක්ද යන්න පැහැදිලිය. යම් වරදකට වරදකරු ලෙස අධිකරණ තීන්දුවක් දී ඔහු හෝ ඇය සිරගෙයට නියමවීම වෙනම කතාවකි. නමුත් සැකකරුවකු ලෙස නම්කර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ කිනම් නීතිමය ආවරණයක් භාවිත කර මෙසේ මානව හිමිකම් කඩකිරීම බරපතල තත්ත්වයකි. එය සැබැවින්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ පවතින නීති රාමුවට අදාළද යන්න සලකා බැලිය යුත්තකි.

එනිසා බොහෝ විට නොකළ වරදකට හෝ ඇතැම් විට දේශපාලනිකමය හේතූන් මත අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදුවන මෙවන් අඩන්තේට්ටම් නිසා රටක නීති ක්‍රියාත්මක වීම ගැන එක් අතකින් කනගාටුවක් ඇතිවන අතර, අනෙක් අතින් නීතිය දඩමීමා කරගෙන සිදුකරනු ලබන තාඩන-පීඩන නිසා ඇතැම්හු දැඩි සේ අසාධාරණයට ලක්වීම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයකට උචිත තත්ත්වයක් නොවේ.

සිදුවිය යුත්තේ කවර වරදක හෝ සැකකරුවකු ඔහු හෝ ඇය එම වරදට සැබැවින්ම සම්බන්ධද යන්න හැකි ඉක්මනින් නිශ්චය කර, ඔහු වරදකරුවකු නම්, ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීම හෝ වරදක් ඔප්පු කරගත නොහැකි නම්, කනගරාජා ආධිත්‍යන් මෙන් නිදහස ලැබීමය. අප මේ කරන්නේ කනගරාජා ආධිත්‍යන් වෙනුවෙන් පෙනී සිටීම නොවේ. දිගුකලක් තිස්සේ රැඳවීමේ නියෝග මත සිටින සැකකරුවන් කෙරෙහි පෙනී සිටීම හා ඔවුන් පිළිබඳව කරන සිහිපත් කිරීමකි. ජීවිත කාලයෙන් බොහෝ දුරක් හා බොහෝ කලක් සිර මැදිරි තුළ ගෙවාදමන පිරිස් පිළිබඳව කරනු ලබන සානුකම්පිත පෙනීසිටීමකි.

අපට මෙවන් කතාවක් කරන්නට මූලාශ්‍රය වූ වැදගත් නඩු තීන්දුවක් පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීම මෙවන් සටහනක් තබන්නට වැඩිමනත් හේතු විය. ඊට අදාළ ප්‍රවෘත්ති වාර්තාව ඊයේ දිවයින මුල් පිටුවේ පළවී ඇත. එනම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන ඕනෑම සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකුගේ අභිමතය පරිදි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවසර ලබාදීමට බලය පවරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 මාර්තු මස 12 වැනිදා නිකුත් කළ 1/2021 දරණ රෙගුලාසි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට හා නීතිය හමුවේ බලරහිත රෙගුලාසි බවට ශ්‍රේෂ්ඨාධිකරණය (13 දා) නියෝග කළහ.

මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබාදී ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉහත රෙගුලාසි අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ඉහත රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(01), සහ 13 වගන්ති දැඩි ලෙස උල්ලංඝනය වන බවද, ඉහත රෙගුලාසි සංශෝධනය කිරීම සලකා බැලීම සඳහාවත් සුදුසු නොවන බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබීම මගින් මෙතෙක් කලක් දීර්ඝ කාලයක් තිස්සේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කෙතරම් අනීතික ද යන්න අපට දැන් පැහැදිලිය. කනගරාජා ආධිත්‍යන් නිදහස ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මේ තීන්දුව නිසා නොවන නමුත් තවත් කනගරාජා ආධිත්‍යන්ලා සිය දහස් ගණනකට මෙයින් සෙත සැලසෙනු ඇත. රටක ත්‍රස්තවාදය වැළැක්විය යුතු බව ඇත්තකි. ආගමික අන්තවාදය වැළැක්විය යුතු බව ඇත්තකි. නමුත් ඒ සියල්ල කළ යුත්තේ රටක මූලික මානව අයිතිවාසිකම්වලට ගරු කරමිනි. ත්‍රස්තවාදීන් හෝ ආගමික අන්තවාදීන් එවන් මූලික මානව අයිතිවාසිකම්වලට ගරු නොකර තමන්ගේ ඉලක්කවලට යන්නට උත්සාහ දරන්නට පුළුවන. නමුත් වගකිවයුතු රජයකට එසේ කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් අපි ඊට ගරු කළ යුතුවෙමු. එම රාමුව ඇතුලේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද ඉහත තීන්දුවෙන් ගම්‍ය වේ. එසේ හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඉහත තීන්දුවට අපි අපේ ගෞරවය පුද කළ යුතු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment