ඡන්ද චක්කරේ සහ රටේ කතන්දරේ

101

අද දවසේ ලාංකිකයාගේ ඉරණම වඩාත් තීන්දු කරන චක්‍රයක් කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුය. එය කාටත් හොඳින් වැටහෙන පොදු නිදසුනකින් ආරම්භ කිරීම වඩා සුදුසුය. දඩාවතේ යන සුනඛයන්, පාරේ යන මිනිසුන්ගෙන් හැමදාමත් ගුටි කයි. එහෙත් එක දවසක් එකී මිනිසුන් විසින් ඔවුන්ට ආහාරයට යමක් දුනහොත්, මෙම සුනඛයන් නගුට වනමින් ඔවුන් පසු පස හැමදාමත් යයි. එපමණක් නොව එලෙස පසු පස යන අතරවාරයේ අවට අයටත් බුරයි. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් අති බහුතරයද, මෙම සුනඛ රැළ මෙනි. වසර 6ක් තිස්සේ අසීමිතව පීඩා විඳිමින්, බැට කකා සිට මැතිවරණයක් ආසන්නයේ අඬගසා කෑමට යමක් දුන්විට සියල්ල අමතක කොට මේ මොහොතේ කෑමට යමක් දුන් කෙනා පසු පස යයි. ඔහු හෝ ඇය වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කරයි. ඒ අතරතුර මෙම ක්‍රියාව දෙස පසෙකින් බලා සිට නිදහස් අදහස් දරන කෙනකුට වුව, කඩාගෙන පනියි. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. සුනඛයන් යනු තර්කානුකූලව සිතන්නට අසමත් තිරිසනුන් වුවද, මනසින් උසස් යැයි සම්මත මිනිසුන්ද, මෙලෙස හැසිරීම වටහාගත යුත්තේ කෙසේද?

දඩාවතේ යන සුනඛයන්ට මෙන් මේ දිනවල ලාංකේය ඡන්ද දායකයන්ටද, ලැබෙන සහන ගැන වරක්, දෙවරක් නොව තෙවරක් කල්පනා කළ යුතුමය. ඉන්ධන මිල අඩු වීම, ගෑස් මිල අඩුවීම, යම් යම් ආහාර පානවල මිල අඩුවීම පමණක් නොව නොමිලේ හාල් බෙදාදීම වැනි හදිසි පරිත්‍යාගශීලී, දානමය පුණ්‍ය කර්මයන් දෙස විමසුම් ඇසින් බලන්නට හැකිවිය යුතුය. නිදසුනක් ලෙස ඉන්ධන මිල කෙරෙහි අවධානය යොමු කළ හැකිය. සාමන්‍ය පුද්ගලයන් තමන් රැකියාවට යන මෝටර් බයිසිකලයට, ත්‍රිරෝද රථයට, යොදාගන්නා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් පසුගිය සතියේ රු.13න් මිල පහළ ගිය බව නිවේදනය කෙරුණි. එහි නව මිල රු.355කි. එහෙත් මෙම පුවත උජාරුවෙන් මාධ්‍ය තුළ වාර්තා කරන අන්දම කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් 13ක් අඩු වූ පසුද, අප ගෙවන මිල කෙතරම් වැඩි දැයි කල්පනා කරන බවක් පෙනෙන්නට නැත. නිදසුනක් ලෙස අදටත් පෙට්‍රල් ලීටරයකට රු.355ක මිලක් ගෙවන්නේ මීට ප්‍රථම රු.117කට ගත් පෙට්‍රල් ටිකටම නොවේදැයි මොහොතකට හෝ කල්පනා නොවීම කෙතරම් කනගාටුවට කරුණක්ද? පාලකයන් හෝ බලධාරීන් සවිඥානිකව අප ගොනාට ඇන්ද වුවද, අපම ඇඳ ගැනීම ගැන අපට ඇත්තේ කිනම් තක්සේරුවක්ද? මට මෙන්ම ලාංකේය අතිබහුතරයකට මේ සම්බන්ධයෙන් ඇත්තේ ආත්මීය කලකිරීමකි. එහෙත් කලකිරීම පමණක් ගැටලුවට විසඳුමක් වන්නේ නැති බවද, අප තරයේ සිහි තබාගත යුතුය.

මේ රට මුහුණදී ඇති අර්බුදය ස්වභාවික සිදුවීමක් නොවේ. මෙය මහා පරිමාණ දූෂණ, වංචා, අක්‍රමිකතා හා කොවිඩ් වසංගතය වැනි අනපේක්ෂිත ලෝක තත්ත්වයන්ද, හේතුවෙන් මුහුණදීමට සිදුවූ ඛේදවාචකයකි. මෙම තත්ත්වයට වගකිව යුත්තන් හැටියට බොහෝ දෙනා ඇඟිල්ල දිගු කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාටය. ඔවුන්ට මෙම වගකීමෙන් නිදහස්වීමට හැකියාවක් නැති බව පැහැදිලිය. එහෙත් පළාත් සභා, පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ද ඇතුළුව නව දහසක් පමණ වන නියෝජිතයන්, ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන්ගේ සිට පළාත් පාලන ආයතනවල රාජ්‍ය නිලධාරියා දක්වාම නිලධාරි තන්ත්‍රයද, මෙම තත්ත්වයට වගකිව යුතුය. අනෙක් අතට මේ සියලු දෙනාටත් වැඩියෙන් එම වගකීම ගත යුත්තේ මහජනයාමය. ඒ දූෂිත පුද්ගලයන් තම ඡන්දයෙන් තමන්ගේ නියෝජිතයන් ලෙස බලයට පත් කිරීම නිසාය. දූෂිත රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් තමන්ගේ බදු මුදලින් නඩත්තු කරන නිසාය. තම දරුවාට හොඳම පාසලක්, රැකියාවක් හෝ වෙනත් පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් දුෂිතයන්ට සමස්ත රටක්, රටක අනාගතයක් භාරදෙන නිසාය. ඒ නිසාම වෙනස ආරම්භ කළ යුත්තේ තමාගෙනි. තමාගේම ආකල්පමය වෙනසකිනි. තම පවුලෙනි. ඒ වෙනුවෙන් කැපවීමට අද දවසේම අප සූදානම් නම් හෙට දවසේ පවුලත්, ගමත් අනතුරුව රටටත් ඒ වෙනස ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වීම අනිවාර්යය.

පාලකයන් හෝ පරිපාලකයන් සියලුම දෙනා එක්වී රට බංකොළොත්භාවයට පත් කළද, එහි විපාක විඳින්නට සිදුවන්නේ සමස්ත රටටමය. සියලුම පොදු ජනතාවටය. උපදින්නට සිටින කුඩා දරුවාටය. ඇතැමුන් තමන්ට නැතත්, තම දරුවන්ට යහපත් හෙටක් ප්‍රාර්ථනා කරමින් පවත්නා සබ්බ සකල සේසතම උකසට තබා දරුවන් විදේශගත කරවන්නට වූයේද, ඒ නිසාය. එකී මව්පියන්ගේ ප්‍රාර්ථනය වූයේ, ‘අපට කොහොම වුණත් උඹලට හරි හරි යනවනේ’ යන්නය. එහෙත් මෙහි අනෙක් අන්තයද, අප විසින් අමතක නොකළ යුතුවේ. එනම් ඇතැම් විට දරුවන් මෙහි තබා මව්වරුන් පියවරුන් විදේශගත වීමය. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල මව්වරුන්, පවත්නා ඉඩකඩම් හෝ උකසට තබා මැදපෙරදිගටද, කොරියාව, රුමේනියාව, ඊශ්‍රායලය වැනි රටවල් බලා පියවරුන්ද, විදේශගතවීමේ ප්‍රවණතාවක්ද, අපට මේවන විට දකින්නට ලැබේ. විදෙස් ප්‍රේෂණ රටට ලැබෙන්නට එනම්, රටේ ආර්ථිකය ස්ථාවර වීමට මෙමගින් රුකුලක් වන බව සත්‍යයකි. එහෙත් අනෙක් අතට අප සමාජයේ කුඩා ව්‍යුහය වන පවුල් ඒකකයට එමගින් වන බලපෑමද, සුළුපටු නොවේ. ඇතැම්විට දරුවන් නොමඟ යෑමටත්, විවිධ අපචාරවලට ගොදුරුවීමටත්, පවුල් ජීවිත අනාරක්ෂිත තත්ත්වයට ඇදවැටීමටත් එය හේතුවක් වන අවස්ථාවන්ද, වාර්තා වන බව අප විසින් අමතක නොකළ යුතුය. මෙවැනි පසුබිමක මේ සියල්ල තුලනය කරගත හැකි කළමනාකාරීත්වයක් රටකට අවශ්‍යය. එහෙත් ඒ පිළිබඳ නිසි අවධානයක් මේ වනතුරුත් යොමු නොවීම ඛේදවාචකයකි.

අන් බොහෝ දෑ මෙන්ම තාක්ෂණයද, අප රටට බලවත් ජාතීන් විසින් පටවන ලද කරුමයක් වන අවස්ථාවන්ද, පවතී. රටක් ලෙස, සමාජයක් ලෙස ඉදිරියට යෑමට, ජාත්‍යන්තර ලෝකය හා තරග කිරීමට තාක්ෂණික මෙවලම් මෙන්ම දැනුම හා අවබෝධය අත්‍යවශ්‍යය. එහෙත් අප මුලින් සඳහන් කළ පරිදි අපගේ සමාජයේ කුඩා තැනුම් ඒකකය වන පවුලේ අගතියට තාක්ෂණය ඉවහල් වන අවස්ථාවන්ද, දැකිය හැකිය. ස්මාර්ට් ජංගම දුරකථන විසින් ශ්‍රම පැය කොපමණ ප්‍රමාණයක් අපතේ හරිනු ලබනු ඇත්ද? තාක්ෂණය හිස් මුදුනින් පිළිගනිමින් එකිනෙකා පවුල තුළ පවා හුදකලා බවට පත්කර ඇත. එකිනෙකා මුහුවී ආදරය, කරුණාව, දයාව බෙදාහදා ගැනීම වෙනුවට රාත්‍රී ආහාර මේසයේදීවත්, පවුලේ සාමාජිකයන් එකට හමුවන අවස්ථා දැන් විරලය. යම් හෙයකින් සතුටු සාමීචියකට හෝ එක්වුවද, එකිනෙකා මුහුණෙන් මුහුණ බලා කතා බහ කිරීම, හැඟීම් බෙදාහදා ගැනීම වෙනුවට එකිනෙකා මුහුණට මුහුණලා වුව තම තමන්ගේ ජංගම දුරකථන දෙස මුහුණ ඔබාගෙන සිටින අවස්ථාවන් වැඩිය. මේ නිසාම එකිනෙකා තුළ ආදරය, ගෞරවය, සාමූහිකත්වය ගොඩනැඟීම හෝ පවත්වාගෙන යෑම වෙනුවට සිදුවන්නේ තවදුරටත් එකිනෙකා ඈත්කරලීමය. පවුලේ එකිනෙකාට පණිවිඩ කියාපෑම, ආදරය ප්‍රකාශ කිරීම පවා සැබෑවට හමුවී කරන සිදුවීමකට වඩා සමාජ මාධ්‍ය තුළ පළ කරන පෝස්ටුවකට සීමාවී ඇත්තේ ඒ නිසාය. ඒ නිසාම අප ආකල්පමය වෙනසක් තුළින් යළි පවුල් සංස්ථාව දෙසට හැරිය යුතුය. පවුල තුළට යළි ආදරය හා අන්‍යොන්‍ය අවබෝධය එන්නත් කළ යුතුය. ඇතුළත ගිනි පිටත නොදෙන, පිටත ගිනි ඇතුළට නොගනිමින් පවුල් සංස්ථාව ශක්තිමත් කළ යුතුය. පවුල තුළ කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන ආදරණීය දරුවාට සමාජය තුළද, ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබෙනු ඇත.

අප බොහෝ විට පුරුදු පුහුණු වී ඇත්තේ තවත් කෙනකුට ඇඟිල්ල දිගු කිරීමට විනා තමන්ගේ වැරදි අවබෝධ කරගනිමින් නිවරදි වීමට නොවේ. එක් පසෙකින් වීදියේ දඩාවතේ යන සුනඛයන් මෙන් මොහොතකට එකම එක වරක් ලැබෙන ආහාර පංගුවක් වෙනුවෙන් ආහාර පංගුව ලබාදුන් කෙනාට සදාකාලිකවම නගුට වනමින් යෑම මින් මතුවට සිදු නොවිය යුතුය. අනෙක් පසින් පවුලේ සාමාජිකයන් අතර ආදරය, කරුණාව, අන්‍යොන්‍ය ගෞරවය රැකගනිමින් පවුල් සංස්ථාව ශක්තිමත් කර ගත යුතුය. විදේශගත වීම එකම සිහිනය කරගත් තාරුණ්‍ය පවා විදේශගතව සිටි එකී රටවල ටොෆි කොළයක් හෝ පාරේ වීසි කර දමන්නේ නැත. පාරට කෙළ ගසන්නේ නැත. ඒ හැදියාව හෝ විනය මෙරටදීත්, පවුල තුළත් ඉන් පිටතත් රැකෙන්නේ නම්, අපට බොහෝ දුර ගමන් කිරීමට හැකිවෙනු ඇත. වැඩ කරන ශ්‍රම කාලය පිළිබඳ සැලකිල්ල දක්වන්නේ නම්, එයද අවධානයට ගත හැක්කකි. විදේශයකදී දවසේ කාලයෙන් ඉතා වැඩි ප්‍රමාණයක් නිසි ලෙස රාජකාරිය ඉටු කිරීමට ශ්‍රමය වැගිරවීමට සියලු දෙනාටම සිදුවේ. රාජකාරිය වෙනුවෙන්ම කැපවී සිටින්නට සියලු ශ්‍රමිකයන්ට සිදුවේ. එහෙත් ලංකාවේදී, රාජ්‍ය සේවකයකු හෝ ශ්‍රමිකයකු තම රාජකාරිය වෙනුවෙන් නිසි ලෙස ශ්‍රමය දෙන්නේ කීයෙන් කීදෙනාද? ඇතැම් විට ඔවුන් තම තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නම් විදේශගතව දුක් විඳින්නට සිදුවන්නේද, නැත. ඒ අනුව ආකල්පමය වෙනසත්, ඒ හා සමගාමීව තම ක්‍රියාකලාපයත් වෙනස් කරගත යුත්තේ අප විසින්මය.

පාර්ලිමේන්තුව පමණක් නොව අනෙක් සියලුම දේශපාලන පරිපාලන ව්‍යුහයන්ද, ඒවායේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසද, පවත්නා ඛේදවාචකයට වගකිව යුතු බව සැබෑය. ඒ සැමටත් වඩා පොදුජනයා ඊට වග කිව යුතු බවද, සැබෑය. දේශපාලකයන්ට ඇඟිලි දිගු කළද, තවත් ඇඟිලි 4ක් තමාගේ පාර්ශ්වයට දිගුවී පවත්නා බව අප විසින් අමතක නොකළ යුතුය. වෙනත් අයුරකින් කිවහොත්, වැඩි වශයෙන්ම වගකිව යුත්තේ අපය. මෙම තත්ත්වය වටහා නොගෙන පවුල් සංස්ථාව ශක්තිමත් කොට කොන්ද කෙලින් තබාගෙන තම රාජකාරිය නිසි ලෙස ඉටුකරන පුරවැසියකු අප විසින්ම නිර්මාණය කර නොගත හොත්, තවදුරටත් සිදුවනු ඇත්තේ වීදි සුනඛයන් වැනි පිරිස් වැඩි වැඩියෙන් බිහිවීමය. එම තත්ත්වය තවදුරටත් රට අඳුරේ හෙළීමට ඉවහල්වනු මිස කිසිදු යහපතක් නම් ඉටු නොකරන බැව් විශ්වාසය.

ඡන්ද චක්කරේ සහ රටේ කතන්දරේ

ආචාර්ය රංග ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment