ජංගි සොරු – (කුමක් කරමුද?)

1026

හොරණ පළාතේ යුධ හමුදා කඳවුරක සේවය කළ හතළිස් හැවිරිදි සැරයන්වරයකු කාන්තා යට ඇඳුම් සොරකමේ ගොස් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මෙතුමා කාන්තා යට ඇඳුමක් ඇඳ සිටියේය. යට ඇඳුම් සොරකම හඳුන්වන අව්‍යක්ත යෙදුමක් මේ රටේ තිබේ ඒ වූකලී “ජංගි හොරකම” ය. හමුදා කඳවුර අසල පිහිටි නිවසක වැලේ දමන කාන්තා යට ඇඳුම් මේ සැරයන්වරයාගේ ඉලක්කය වී තිබේ. ප්‍රමාණයෙන් කුඩා වුවද යට ඇඳුමක් යනු මිල අධික භාණ්ඩයකි. මෙය සොරකම් කළ විට එහි අයිතිකරු මහත්සේ කෝපයට පත්වන්නේ එහි දැරිය නොහැකි මිල නිසාය. ජංගි සොරකමේ යෑම කිසියම් මානසික රෝගයකි. ජංගි හොරා තමන් සොරකම් කළ නඩු භාණ්ඩ අත පත ගාමින් ලිංගික තෘප්තියක් ලබයි. ඔහු මානසික රෝගියකු නිසා ඔහුට පහරදීම හෝ අපහාස කිරීම නොහොබී. එබැවින් පොලිසිය කළ යුත්තේ උසාවි නියෝගයක් ලබාගෙන පෙරකී ජංගි හොරා මානසික උපදේශන සේවාවක් වෙත යොමුකිරීමය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කාන්තා යට ඇඳුමක් ඇඳ සිටීමෙන් පෙනී යන්නේ අදාළ හමුදා සාජන් මහත්තයා Trans Gender හෙවත් ලිංගික සංක්‍රාන්ති සමයක නිරත වන බවය. මෙය ජීව විද්‍යාත්මක පරිවර්තනයකි. මේ පරිවර්තනයට ලක්වන අය තමා කාන්තාවක් බව සිතමින් කාන්තා යට ඇඳුම් ඇඳගෙන, කාන්තා උඩ ඇඳුම් ද ඇඳගෙන, ලිප්ස්ටික් ගාගෙන හැසිරෙන්නට පටන්ගනී. එහෙත් අපේ සාජන් මහත්තයා ට්‍රාන්ස් ජෙන්ඩර් තත්ත්වයටත් වඩා සංකීර්ණ කේස් එකක පැටලී ඇත. මැදිවියේ පසුවන මේ රෝගී මහත්මයා පිළිබඳ කරුණාවෙන් බලන ලෙසත් ඔහු නැවත වතාවක් ඔහුගේ මුල් වාසස්ථානය වූ පිරිමි ශරීරය තුළට ගෙන්වා ගැනීමට උපකාරී වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලමු. මේ සඳහා හෝමෝන ප්‍රතිකාරයක් අවශ්‍ය බව අපගේ විශ්වාසය වේ.

රටේ හැමතැනකම මිනී මැරුම් සහ ස්ත්‍රී දූෂණ වාර්තා වීමට පටන්ගෙන ඇත. වෙන එකක් තබා ප්‍රජාතන්ත්‍රවාදයේ මහා මන්දිරය ලෙස සැළකෙන පාර්ලිමේන්තුවෙන්ද මෙවැනි සිද්ධි වාර්තා වී ඇත. පාර්ලිමේන්තුවේ කේස් එක සම්බන්ධයෙන් මන්ත්‍රීවරියන් විශාල පිරිසක් බලවේගයක් ලෙස එකතුවී ක්‍රියා කරති. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය තුළ සිටින ඇතැම් සේවකයන් එම කාර්ය මණ්ඩලයේම සිටින ඇතැම් කාන්තාවන්ට විවිධ ලිංගික යෝජනා කර ඇති බව දැන ගන්නට තිබේ. ජංගි හොරකම මානසික රෝගයක් ලෙස වර්ගීකරණය කළ හැකි වුවද සේවා ස්ථානය තුළ සිටින කාන්තාවන්ට ලිංගික යෝජනා සිදුකිරීම හෝ එම කාන්තාවන්ගේ ශරීරය ස්පර්ශ කිරීම හෝ මානසික රෝගයක් සේ සැලකිය නොහැක. එය කුපාඩිකමකි. රටේ හැම සේවා ස්ථානයකම මේ ප්‍රශ්නය තිබේ. ඇතැම් ඉස්කෝලෙක සිටින ලස්සන තරුණ ගුරුවරියන්ට ප්‍රින්සිපල්ගෙන් හරිම කරදරය. ගාමන්ට් ෆැක්ටරියේ සිටින ලස්සන කෙල්ලන්ට සුපවයිසර්ගෙන් හරිම කරදරය. පොලිස් ඉන්ස්පෙක්ටර්ගෙන් කාන්තා නිලධාරිනියන්ට හරිම කරදරය. එයට ප්‍රධාන හේතුව වන්නේ මේ හැම තැනකම මනුෂ්‍යයන් සිටීමය. මනුෂ්‍යයා යනු කැත, ගඳ ගහන ආසාවල් හිතේ දරාගෙන ඒවා කෙසේ හෝ ඉටුකර ගැනීමට ආසාවෙන් සිටින්නෙකි. මිනිසුන් තුළ දෙවියකුද යකෙකුද යනාදී වශයෙන් චරිත දෙකක් පවතී. හිටිගමන් දෙවියෝ උඩ එති. එවිට මේ මිනිහා පන්සල් යමින්ද, දන් පින් කරමින්ද බ්‍රහ්මචාරි වෙමින්ද මාර ආතල් එකක් ප්‍රදර්ශනය කරයි. එහෙත් එකී දෙවියන් පරදවාගෙන යකෙකු උඩ ආ විට මාරම අවුල් සහගත තත්ත්වයක් හටගනී. මේ තත්ත්වය තුළදී ඔහු මිනී මරයි. කුඩු බිස්නස් කරයි. සොරකම් කරයි. ස්ත්‍රී දූෂණවල නිරත වෙයි. කුඩා ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් අපහරණය කරයි. මනුෂ්‍යා තුළ සිටින දෙවියා සහ යකා බැලන්ස් කරනු ලබන්නේ ශිෂ්ටාචාරය විසිනි. ඔබ අවට සමාජය අශිෂ්ට නම් ඔබටද අශිෂ්ටත්වයේ රෝගය බෝවෙයි. එවිට ඔබේ සිරුර තුළ සිටින යකා වහා එළියට පැන තියෙන තරමක් කුපාඩිකම් කරයි. හැබැයි ඔබ අවට තිබෙන සමාජය ශිෂ්ට නම් ඔබට එළියට ගැනීමට සිදුවන්නේ දෙවියාය. ඔබ එවිට පන්සල් ගොස් ගාථා කියමින්ද පල්ලි ගොස් ස්තෝත්‍ර කියමින්ද පස් පව් බැහැර කරමින්ද ඉතා ලස්සන ජීවිතයක් පටන්ගනී. ඒ නිසා ජංගි හොරකම් කළ රණවිරු මහතාට සමාවද, වෛද්‍ය ප්‍රතිකාරද ලබාදී යහපත් ජීවිතයක නිරත වීමට හැකිවන තත්ත්වයක් ඇති කිරීමට සමාජයට පුළුවන. හැබැයි ජංගි සොරකමේ නොයන ස්ත්‍රී දූෂකයාට සහ අපහාරකයාට එවැනි සමාවක් දිය යුතු නැත. ඔහු හිරේ විලංගුවේ දැමීම පළමුවත් ඔහුගේ මනස ශෝධනය කිරීම දෙවනුවත් කර ඔහු නැවත යහමගට ගැනීමට ට්‍රයි එකක් දීමට අපට පුළුවන.

මේ රටේ වැඩිවෙමින් පවත්නා ළමා සහ වැඩිහිටි ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම වේ. ගැහැනු ළමයකුට විලි බිය සිඳගන්නේ නැතිව පාරේ යන්නට බැරි රටකින් ඇති ඵලය කිම? පසුගිය අවුරුදු තිහ හතළිහ තුළ පරිහානියට පත්වූ මේ රටේ සදාචාරය පිළිබඳ තක්සේරුවක් කිරීමට කාලය පැමිණ තිබේ. අපරාධ වැඩිවන අවස්ථා වලදී බොහෝ රටවල් තමන්ගේ සමාජය විද්‍යාත්මක තක්සේරුවකට ලක්කර ප්‍රශ්න වලට පිළියම් සොයාගෙන ඇත. එසේ නොකළොත් සිදුවිය හැකි විපත ඉතා නරකය. අද සොරකම් කරන්නේ වියලීමට වැලේ දැමූ ජංගියයි. හෙට වනවිට මේ මිනිසුන් යට ඇඳුම් නිපදවන කම්හල් කඩා ඒවායේ ඇති බඩුත් ගෙන යනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment