ආර්ථික අර්බුදයට අයිඑම්එෆ් විසඳුමක් ද?

268

අපගේ අයිඑම්එෆ් වැඩසටහන ගැන මේ දිනවල පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා වෙමින් විවාදයක් සිදුවෙමින් තිබේ. මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ නොයෙකුත් කෙස් පැලෙන දේශපාලන තර්ක මෙන්ම ආර්ථිකමය අදහස් ද ඉදිරිපත් කරනවා විය හැකිය. මේ අතර පෙරේදා (25) මුදල් අමාත්‍යාංශයේ ද මෙම අයිඑම්එෆ් වැඩසටහන ගැන විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්විණි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ද සහභාගිත්වයෙන් පැවැති මේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකවරුන් දෙදෙනා වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතා සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරුන්ය. ඔවුන් දෙදෙනාම පරිගණක ස්ලයිඩ් ආධාරයෙන් ඉදිරිපත් කිරීම් සිදු කරමින් මේ ගැන අදහස් ඉදිරිපත් කරන ලදි. ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය විසින් මේ වැඩසටහන මෙහෙයවීම සිදු කරනු ලැබිණි. සම්මන්ත්‍රණය අවසානයේ සහභාගි වූවන් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුර ලබා දීම ද සිදු කළ අතර ඇත්ත වශයෙන්ම අපත් සිතන්නේ අපට අයිඑම්එෆ් එක ලබා දුන් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සහ ඒ අනුව අප ඉටු කළ යුතුව තිබෙන කොන්දේසි මෙන්ම සපුරාගත යුතු ඉලක්ක ගැන පුළුල් වශයෙන් ජනසමාජය ද දැනුම්වත් කිරීම (වීම) අත්‍යවශ්‍ය බවයි.

ආර්ථික අර්බුදයට අයිඑම්එෆ් විසඳුමක් ද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ
ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ
ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර

මෙම සම්මන්ත්‍රණය සඳහා මාධ්‍යවේදීන්ට ද ආරාධනා කර තිබුණත් මෙය මාධ්‍යවේදීන් උදෙසාම සංවිධානය කර තිබූ එකක් නොවීය. මේ සඳහා පූජ්‍ය පක්ෂය, වෘත්තීය සමිති නියෝජිතයින්, විද්වත් වෘත්තිකයින් රැසක් ද සහභාගි වී සිටිනු දක්නට ලැබිණි. අයිඑම්එෆ් වැඩසටහන ගැන කොතෙකුත් සංවාද තිබුණත් ඒ බොහෝමයක් දේශපාලනික ඒවා බව අපගේ අදහසයි. ඒ නිසාම එම අදහස්වලට සවන් දීමෙන් පමණක් සාමාන්‍ය මහජනයාට ඇත්ත චිත්‍රය වටහාගත නොහැකිය. මේ අර්ථයෙන් මෙම සම්මන්ත්‍රණය ඉතා වැදගත් එකක් වූ බව කිව යුතුය. අප ද අදහස් කරන්නේ මේ වැඩසටහනේ හොඳ නරක ගැන පුළුල් සංවාදයක් අවශ්‍ය බවයි. මෙම සම්මන්ත්‍රණයේ දී මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

“අද වන විට ගමේ ඉන්න සරල මනුස්සයත් අයිඑම්එෆ් එක ගැන කතා කරනවා. මේ පාර වෙනදට වඩා අයිඑම්එෆ් එක ගැන හැමෝම කතා කරනවා. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මේ ගැන වෙනත් විකල්පයක් දකින්න නෑ. වෙනත් වතාවල වගේ නෙවෙයි 17 වැනි වතාවේ අපි අයිඑම්එෆ් ගියේ දුර්වල තැනක සිටයි. අපි 2022 අප්‍රේල් 12 වැනිදා ණය ගෙවීම තාවකාලිකව අත්හිටෙව්වා. ඒ නිසා මෙවර අපට අයිඑම්එෆ් එකඟතාව ගැනීමත් අමාරු වුණා. අපට ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් සිදු වුණා. කෙනෙක් අහන්න පුළුවන් ණයක් ගන්න එක ජයග්‍රහණයක් ද කියල. ඒත් මේ වැඩසටහනට ඇතුළත් වීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍යකරණයේ හරි මාර්ගයට වැටිලා තියෙනවා. ඒක ජයග්‍රහණයක්…”

අපත් සිතන්නේ සාමාන්‍යයෙන් විදේශ ණය මුදලක් ගැනීම ලොකු ජයග්‍රහණයක් නොවිය හැකි නමුත් අපට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් වී සිටින සහ වෙනත් කොහෙන්වත් ණය මුදලක් නොලැබෙන මොහොතක අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට හැකි වීම සතුටට කරුණක් බවයි. එය තවත් කල්පමා වූවා නම් අපට ආර්ථික අර්බුදයේ ඇලීගැලී සිටීමට ගත වන කාලය තවත් දික්වන බව සඳහන් කළ යුතුමය. මේ නිසා අයිඑම්එෆ් වැඩසටහන මගින් අපට වසර හතරක් තුළ ලැබෙන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් පමණක් වුවත් අයිඑම්එෆ් වැඩසටහනේ අගය ඩොලර් බිලියන තුනකට පමණක් සීමා නොවේ. එනම් මේ අනුමත වූ අයිඑම්එෆ් විස්තීර්ණ ණය පහසුකම නිසා ජාත්‍යන්තර විශ්වාසය වර්ධනය වීමෙන් අපගේ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගෙන් ද තවදුරටත් අපට මූල්‍ය ආධාර ලබා ගැනීමට හේතුවනු ඇත. මෙය අපට විදේශ මුදල් සොයා ගැනීමෙන් මිස රුපියල් අච්චු ගසා විසඳා ගත හැකි ප්‍රශ්නයක් නොවේ. විදේශ මුදල් සොයා ගැනීමේදී විදේශ ණය ගැනීමට අමතරව අපගේ විදේශ මුදල් ඉපැයීමේ හැකියාව විවිධ අංශවලින් වර්ධනය කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අයිඑම්එෆ් වැඩසටහන මත පමණක් යැපෙන්නේ නැතුව රජයට නොයෙකුත් මාර්ගවලින් විදේශ මුදල් උපයා ගැනීමේ වෙනම සැලසුම් තිබිය යුතු වේ. ඒ නිසා අපේ ආර්ථික අර්බුදයට අයිඑම්එෆ් එක මගින් විසඳුම් මගක් විවර වූ බව සත්‍යයක් නමුත් අපට ඒ මතම යැපෙන්නට පුළුවන්කමක් නැත. එය එකම විසඳුම නොව අප මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු බහුවිධ ක්‍රියාමාර්ග අතර එක් ප්‍රධාන සහ අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දිය හැකිය.

මේ අතර පෙර කී සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතා සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරුන් ඉතා වැදගත් අදහස් ඉදිරපත් කළ අතර ඔවුන් දැක්වූ එම අදහස් තවදුරටත් ජනගත විය යුතු බවත් අපි අදහස් කළෙමු. ඒ නිසා මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වන්නේ මෙම සම්න්ත්‍රණයේ දී ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතා දැක් වූ වැදගත් කරුණු කීපයකට (දෙසුමේ සාරාංශයකට) ඔබගේ අවධානය යොමු කිරීමටයි. ඒ අනුව ආචාර්ය හරිශ්චන්ද්‍ර සිය ඉදිරිපත් කිරීම සිදු කරමින් මෙසේ කියා සිටියේය.

අප බැලුවොත් ලංකාව ලෙඩෙක් නම් ඒ ලෙඩේ තියෙන ලක්ෂණ මොනවා ද කියල. මේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් හයක් තියෙනවා. ඒ ලක්ෂණ හයට පිළියම් යොදන්න තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. එනම් ඒ ලෙඩේට බෙහෙත් දෙන්න. ඒ අනුව මේ අයිඑම්එෆ් වැඩසටහනේ අරමුණු මගින් පුළුල් අංශ හයක් ආවරණය කෙරෙනවා. ඒ මෙසේයි.

  1. රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම පදනම් කරගත් ආදායම දියුණු කිරීම සහ සමාජ ආරක්ෂණ දැල්, රාජ්‍ය මූල්‍ය ආයතන හා රජය සතු ව්‍යවසායයන් වෙත සිදුකරන ප්‍රතිසංස්කරණය.
  2. රාජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම
  3. මිල ස්ථායිතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්ෂක යළි ගොඩ නැගීම.
  4. මූල්‍ය ස්ථායිතාව තහවුරු කිරීම
  5. දූෂණ අවදානම් අවම කිරීම
  6. විභව වර්ධනය ඉහළ නැංවීම

මේ අනුව රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ නැතුව මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. බදු ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන එක අපට සාකච්ඡා කරන්න පුළුවන් දේවල්. මේ නිසා අපි පළමුවෙන්ම රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන. පළමු රෝග ලක්ෂණයත් රාජ්‍ය ආදායම අඩු වීමයි. එහෙනම් ඒකට බෙහෙතත් ඒකම තමයි. දෙවෙනි කරුණ අපේ ණය තොගය ජාතික ආදායමෙන් සියයට 128 ක් දක්වා වැඩි වුණා. එහෙනම් අපි ණය ස්ථාවරභාවය ඇති කරගන්න ඕන. ඒකට අපි ණය ප්‍රතිව්‍යුහගත වැඩසටහන ආරම්භ කරන්න ඕන. ඒක තව එක අරමුණක්. අනිත් කරුණ තමයි අපේ උද්ධමනය ගත්තොත් ගිය වසරේ (2022) දිගින් දිගටම වැඩි වුණා. ගිය වසරේ සැප්තැම්බර් මාසේ වෙනකොට සියයට 70 ක මට්ටමට උද්ධමනය වැඩි වුණා. ඒ නිසා මේ අයිඑම්එෆ් වැඩසටහනේ එක අරමුණක් තමයි උද්ධමනය පහළට ගේන එක. ඒ සඳහා කාර්තුවෙන් කාර්තුවට ඉලක්ක තියෙනවා. ඒ අනුව මේ වසර (2023) අග වන විට තනි ඉලක්කමේ අගයකට උද්ධමනය පහළට ගේන්න ඕන. ඒක වෙනවා කියන විශ්වාසයත් අප ගාව දැන් තියෙනවා.

මේ සමගම අපේ විදේශ සංචිත වැඩිකර ගන්න ඕන. ගිය වසරේ (2022) අප්‍රේල් වෙනකොට සංචිත බින්දුවයි. එනම් චීන විනිමය හුවමාරු පහසුකම හැරුණම අපි ගාව තිබුණේ ඩොලර් මිලියන 20 ක් වගේ ප්‍රමාණයක්. මේ අයිඑම්එෆ් වැඩසටහනේ තව ප්‍රධාන අරමුණක් තමයි මේ සංචිත වැඩි කර ගැනීම. ඒ සඳහාත් කාර්තුමය වශයෙන් ඉලක්ක තියෙනවා. තවත් අරමුණක් තමයි මූල්‍ය පද්ධතියට වන බලපෑම්, බාධක අවම කරගන්න ඕන. අපේ මූල්‍ය පද්ධතියේ රාජ්‍ය බැංකු දෙක ප්‍රධාන අංගයක්. ඒ රාජ්‍ය බැංකුවල රජයත් එක්ක තිබෙන සම්බන්ධතාව එනම් රාජ්‍ය සුරැකුම්පත්වල කොපමණ මේ බැංකු ආයෝජනය කරලා තියෙනවා ද? ඒ අනුව රජයේ සුරැකුම්පත්වලට කිසියම් බලපෑමක් වෙනවා නම් ඒක කොහොම ද රාජ්‍ය බැංකුවලට බලපාන්නේ? ඒ හරහා කොහොමද බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කරන්නේ? ඒක මේ වැඩසටනේ තව ප්‍රධාන අරමුණක්. එසේම දූෂණ අවදානම් අවම කිරීම සහ විභව වර්ධනය ඉහළ නැංවීම මේ වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණු දෙකක්.

කලින් අයිඑම්එෆ් ගිය අවස්ථාවල දී ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒකයි සැරින් සැරේ අයිඑම්එෆ් යන්න වෙලා තියෙන්නේ. අපි එක වැඩසටහනක දිගටම ඉඳල නැහැ. මේ පාරත් එම ප්‍රතිසංස්කරණ කරන්න බැරි වුණොත් අපට 18 වන වතාවටත් අයිඑම්එෆ් යන්න වෙනවා. ඒක වළක්වා ගන්න බෑ. ගිය වසරේ (2022) අපි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නා. සියයට 7.8 ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා වුණා. පැය කීයක් අපි රෑ අඳුරේ හිටිය ද? දවස් කීයක් අපි හිටිය ද තෙල් පෝලිම්වල? බෙහෙත් නැතුව කොච්චර හිටිය ද? මේවායේ සමාජ පිරිවැය ඉතා විශාලයි. අපිට තව පාරක් අයිඑම්එෆ් යන්න වුණොත් අපිට යන්න වෙන්නේ මීට වඩා දරුණු මට්ටමකට ගිහිල්ල. මේ සැරේ වැඩසටහන අවුරුදු හතරක් තියෙන්නේ ඒකයි. අපිට කාලයකුත් තියෙනවා, ඒ කාලය තුළ අපි කොහොමද මේ ඉලක්ක සපුරා ගන්නේ. ඒ සඳහා මේ වැඩසටහනේ අංග තියෙන්නේ. ඒ සඳහා එවැනි අංග පහක් තියෙනවා. ඒවා මෙසේයි.

  1. පූර්ව ක්‍රියාමාර්ග
  2. ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක
  3. සැලසුම්කරණ ඉලක්ක
  4. මූල්‍ය ප්‍රතිපත්ති උපදේශන වගන්තිය
  5. ව්‍යුහාත්මක මිනුම් ලකුණු

අයිඑම්එෆ් එකේ විධායක මණ්ඩලය අනුමැතිය දෙන්නේ මේ පූර්ව ක්‍රියාමාර්ග කළොත්. මේවා 9ක් තියෙනවා. මින් පූර්ව ක්‍රියාමාර්ග ඇත්තටම කරලා ඉවරයි. ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක හතරක් තියෙනවා. මේ අතරින් ප්‍රාථමික ශේෂය අපට අඩු කරගන්න ඕන රු.බිලියන 895 සිට මේ වසරේ (2023) අගවන විට රු.බිලියන 209 දක්වා. මේක එක ඉලක්කයක්. මේ සඳහා එක්කෝ ආදායම වැඩිවෙන්න ඕන නැත්නම් වියදම අඩු කරගන්න ඕන. ඒ සඳහා තමයි රජය දැනටමත් ක්‍රියා කරලා තියෙන්නේ ආදායම වැඩි කරගන්න. බදු ආදායම වැඩිකරගන්න සහ වියදම් කළමනාකරණය කරගන්න. අනිත් එක මහ බැංකුවේ ශේෂ පත්‍රයේ වගකීම් තියෙනවා වත්කම් තියෙනවා. මේ දෙක අතර වෙනස වන ශුද්ධ විදේශ වත්කම් දැන් ඍණ අගයක් තියෙන්නේ. ගිය වසර (2022) අග වන විට ඍණ ඇමෙරිකානු ඩොලර් මිලියන 3540 යි. ඒක අපි දිගින් දිගටම වැඩි දියුණු කරගෙන මේ වසර (2023) අගවන විට අඩු කරගන්න ඕන ඍණ ඇමෙරිකානු ඩොලර් මිලියන 1592 ක් දක්වා. කාර්තුමය වශයෙනුත් අඩුකරගත යුතු ඉලක්ක දක්වා තිබෙනවා. මේ සඳහා සංචිත වත්කම් වැඩි කර ගැනීම හෝ වගකීම් අඩු කර ගැනීම කළ යුතු වෙනවා. වත්කම් වැඩි කර ගැනීම සඳහා වෙළෙඳපොළෙන් ඩොලර් මිලට ගන්න ඕන. එය මහ බැංකුව දැන් කරගෙන යනවා. වගකීම් අඩු කරගන්න නම් ණය ගෙවන්න ඕන. අනිත් කරුණ මහ බැංකුව විසින් ආණ්ඩුවට දෙන ණය. මුදල් අච්චු ගැසීම කියල කියන්නෙත් ඒකම තමයි. ඒක අපි පාලනය කරගන්න ඕන. අපට තව දෙන්න බැහැ. ගිය වසරේ (2022) අගවන විට රු. බිලියන 2834 ක් තියෙනවා අපි ණය දීල. ඒක අපිට අයිඑම්එෆ් වැඩසටහන යටතේ වැඩි කරගන්න බෑ. ඒක කාර්තුමය වශයෙන් අඩුකරගෙන මේ වසර (2023) අගවන විට රු. බිලියන 2740 ක් දක්වා අඩු කරගන්න ඕන. ඒ කියන්නේ අපිට මුදල් අච්චු ගැසීම කියන එක කරන්න බෑ. හේතුව තමයි මුදල් අච්චු ගහන්න ගහන්න උද්ධමනය වැඩි වෙනවා. උද්ධමනය අඩු කරගන්න නම් මුදල් ප්‍රසාරණය අඩුකර ගන්න ඕන. ඒකත් මේ වැඩසටහනේ එක් කොන්දේසියක්. තව කරුණක් තමයි රජයේ හිඟ වියදම් තියාගන්නත් බෑ. මේ නොගෙවූ බිල්පත් එහෙම තියාගන්න බෑ ඉස්සරහට ගෙවන්න ඕන. ඒක 0 කරගන්න ඕන 2023 ජුනි අගවන විට. මේවා තමයි කොන්දේසි. මේවා නරක කොන්දේසි කියල කියන්න බෑ. අයිඑම්එෆ් එක කිව්වට මේවා ඔක්කොම අපි කරන්න ඕන දේවල්. තවත් කොන්දේසි ඉලක්ක සපුරගන්න තියෙනවා. බදු ආදායම සම්බන්ධයෙන් ඉලක්ක දීල තියෙනවා. තව ණය ගෙවීම අඩු කර ගැනීම සම්බන්ධයෙන් ඉලක්ක තියෙනවා. මේ විදියට අයිඑම්එෆ් වැඩසටහන අනුව කාල වකවානුවල දී අපි කළ යුතු දේවල් තිබෙනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment