කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණ පිහිටුවා වදාළ බෝධිසත්‍වගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ 114 වැනි ගුණානුස්මරණය හා උන්වහන්සේ වැඩ සිටි දෙමහල් ආවාස ගෘහය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීම ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ සහභාගිත්වයෙන් අප්‍රේල් මස 29 වැනි දින පස්වරු 2.00 ට විද්‍යොදය පිරිවෙණේ දී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
භාෂා සාහිත්‍යය හා ආගමික ප්‍රගමනයට ඉවහල් වන මහා පඬුවන් කාලය විසින් නිර්මාණය කරනු ලැබේ. අද්‍යතන අවදිය මෙන් නොව 19 වැනි සියවසේ දෙවැනි භාගය යනු භාෂා සාහිත්‍යය හා ආගමික අතින් එතරම් ප්‍රබෝධයක් ලත් වකවානුවක් නොවේ. මේ අංශවල ප්‍රගතියට ප්‍රගමනයට බලපාන මහා පඬුවාන කෙනෙක් පහළ විය. ඒ අන් කිසිවෙක් නොව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ය.
කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණ කොතැන ද එතැන හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ය. මේ දෙක වෙන් කිරීමට කිසිවෙකුට නුපුළුවන. භාෂා හා විෂය ඥානයෙන් සමලංකෘත සමාජයක් බිහිකිරීමට මහා ශාස්ත්‍ර ශාලාවක් හෙවත් තක්සලාවක් උන්වහන්සේ නිර්මාණය කළහ. ඒ බව උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයා වූ යගිරල පඤ්ඤානන්ද මාහිමියන් ස්වකීය ශ්‍රී සුමංගල චරිතයේ ප්‍රථම භාගයේ මෙසේ සඳහන් කරයි.
“ඈත පිටිසර පෙදෙසක ජලය කොළඹට ගෙනවුත් මහා ජනතාවට දෙවා ඔවුන්ගේ පිපාසා සංසිඳුවන බාහිර පවිත්‍රභාවය ඇති කිරීමට මූලිකස්ථානය ලෙස මාලිගාකන්ද තෝරා ගත්තේ සර් විලියම් හැන්රි ග්‍රැගරි ආණ්ඩුකාරතුමාය. ස්වදේශීය විදේශීය ධර්මශාස්ත්‍රාභිලාෂීන්ගේ ධර්ම ශාස්ත්‍ර පිපාසා සංසිඳුවා බාහිර අභ්‍යන්තර පවිත්‍රතාව ඇති කිරීමට මූලස්ථානය ලෙස මාලිගාකන්ද තෝරා ගන්නා ලද්දේ ශ්‍රී සුමංගල නාහිමියන් විසිනි. ග්‍රැගරි ආණ්ඩුකාරතුමා එකල අඳුරු පුරයක්ව පැවැති කොළඹ නගරය ගෑස් ආලෝකයෙන් එළිය කරන්නට පටන් ගත්තේය. ශ්‍රී සුමංගල නායක හිමියෝ ලංකාව ධර්මශාස්ත්‍රාලෝකයෙන් බබළවනු පිණිස විදුදය පිරිවෙන පටන්ගත් සේක.”
ශාස්ත්‍රාලෝකය
එවකට ගෑස් පහනේ ආලෝකයෙන් නගරය ආලෝක කළාක් මෙන් විදුදය පිරිවෙන මගින් හෙළි කළ ශාස්ත්‍රාලෝකයෙන් මුළු දිවයිනම ආලෝකවත් විය. දසත පිරිවෙන් ශාඛා හැට පහක් පමණ ආරම්භ වූයේ විදුදය පිරිවෙනින් අධ්‍යාපනය ලත් ශිෂ්‍ය සමූහයා විසිනි. ශාඛා ප්‍රශාඛා බවට පත්වී දස දෙසින් සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, අර්ථශාස්ත්‍රය, ජ්‍යොතිෂය, ප්‍රාකෘත ආදි විවිධ විෂයයන්ගෙන් ප්‍රගුණ වූ ගෝල පරපුරක් ද බිහිකිරීමට ශ්‍රී සුමංගල නාහිමියන් උපස්ථම්භක වූයේය.
ග්‍රන්ථකරණය
මාහිමියන් පොත් රචනා කරන්නට යොමු වූයේ ඉගෙන ගන්නා අවදියේ පටන්ය. ප්‍රථම ග්‍රන්ථය වූයේ බ්‍රාහ්ම ධර්මය හෙවත් අනුශාසනා සංග්‍රහයයි. හින්දු හා ජෛන පඬිවරුන් රචනා කළ නොයෙක් ශ්ලෝකවලින් හින්දු ධර්මයට හා ජෛන ධර්මයට අයත් අදහස් අන්තර්ගත ශ්ලෝක අතහැර බුදු සමයට විරුද්ධ නැති ශ්ලෝක පමණක් ගෙන මෙය සිංහල පද්‍යයට නගන ලදී. එහි එන සිංහල පද්‍යයකි, මේ.
සුමුදු සිතින් ගරු කොට
මවුපියන් සොඳ
වැඩ යෙදුමෙන් ඉඳුරන්
හමුසුරන් ලෙද
සියලු තැනින් ගිහි දන
විසින හැම සඳ
සොයනු රිසින් සිරිතකි
නිමල නිවරද
සුමංගල මාහිමියන් කෙරෙහි තිබුණු කාව්‍යමය ශක්තියත් පරිවර්තනය කිරීමේ කුසලතාවත් මෙයින් ප්‍රකට කෙරේ. පරිවර්තනයේ දී මුල භාෂාවට හානි නොවන පරිදි ලාක්ෂ භාෂාවට පෙරැළීමේ කාව්‍යමය ප්‍රාගුණ්‍යය හා භාෂාත්මක නෛපුණ්‍යය මෙයින් උද්වහනය කරයි. සකු බසේ පරතෙරට ගිය බවට මෙය හොඳම සාධකයකි.
සුමංගල මාහිමියන් හික්කඩුවේ වාසය කරන සමයේ දී ‘මාසර්තු ලක්ෂණ’ නමැති ග්‍රන්ථය කරන ලදී. පක්ෂ, මාස, ඍතු ලක්ෂණ මැනවින් දැන ගැනීමට මේ ග්‍රන්ථය අතිශයින්ම ඉවහල් වේ. මෙය වඩාත් ප්‍රයෝජනවත් වූයේ එවකට ‘අධිමාසවාදය’ පැවැති සමය නිසාය. පක්ෂ මාසාදිය හොඳින් පසක් කොට ගෙන පොහොය කිරීම්, වස් විසීම්, පවාරණය කිරීම් ආදිය ධර්මානුකූලව පවත්වා ගැනීමට මේ පුංචි ග්‍රන්ථය ඉතාමත්ම ඵලදායී වූවක් විය. 1873 දී පමණ ලියන ලදැයි සැලකිය හැකි තවත් ග්‍රන්ථයකි, ‘වර්ණ රීතිය’. සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නා අයට මේ ග්‍රන්ථය ඉතාමත්ම ප්‍රයෝජනවත් වූවකි.
මහාවංස පරිවර්තනය
මහාවංස පරිවර්තනය මාහිමියන් අතින් සිදු වූ ශ්‍රේෂ්ඨතම කාර්යය යැයි මම සිතමි. මහාවංසය යනු කුමක් දැයි නොදත් සමයක එහි අගය සමාජයට හෙළි කිරීමට ගත් තැතක අග්‍රඵලයකි මෙය. එවකට ඉංග්‍රීසි නිලධාරියෙකු වූ ජෝර්ජ් ටර්නර් මහතා උඩරට ප්‍රධාන විහාරස්ථානවලින් මහාවංස පිටපත් කිහිපයක් සොයාගෙන ඉංග්‍රීසියට පරිවර්තනයක් කරන ලදී. මේ වකවානුවේ එනම්, 1873 දී ලංකාණ්ඩුකාර පදවියට පත් සර් විලියම් හෙන්රි ග්‍රැගරිතුමා මහාවංසය සම්බන්ධ තොරතුරු ගැන විමසීමක යෙදී මේ උසස් ග්‍රන්ථය ලෝකයා අතට පත් කළ යුතුය යන තීරණයට එළඹුණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී සුමංගල මාහිමියන් හා බටුවන්තුඩාවේ පඬිවරයා කොළඹ රජ ගෙදරට කැඳවා මහාවංසය ශුද්ධ කොට සිංහල භාෂාවට පරිවර්තනය කළ යුතු යැයි දන්වන ලදී. විද්‍යොදය පිරිවෙණ ආරම්භ කළ වකවානුවේ දී එහි උන්නතියට මහත් මෙහෙවරක් කළ යුතු සමයක මහාවංසය සිංහලයට පරිවර්තනය කිරීමත් එසේ මෙසේ කටයුත්තක් නොව ඉතාම බරපතළ වූ කාර්යයකි.
කෙසේ වුවත් මේ කර්තව්‍යය ඉටු කළ යුතු යැයි ඉටාගත් මාහිමියන් පැරණි පොත් ගුල්වල තිබුණු පාලි මහාවංස පිටපත් එකතු කොට බටුවන්තුඩාවේ පඬිවරයා ද සම්බන්ධ කොටගෙන ශිෂ්‍ය පණ්ඩිත ස්ථවිරවරුන් දෙතුන් දෙනෙකුගේ ද සහයෙන් පෙළ පොත් කියවා ඒවා එකින් එක සසඳා කිරා මැන බලා මහාවංසය ශුද්ධ කොට සිංහලයට පෙරළන ලදී. පාලි මහාවංසය සිංහලයට පෙරළීමේ ගෞරවය හිමිවන්නේ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ටය.
වර්ණවත් ඉතිහාසයක්
සිංහලයන්ට මෙතරම් අනර්ඝතම වර්ණවත් ඉතිහාසයක් තිබෙන බව දැන ගන්නට ලැබුණේ මහාවංසය එසේ සිංහලයට නැගීමෙන් අනතුරුවය. පාලි මහාවංසය ලියූ මහානාම ධම්මකීර්ති ශ්‍රී සිද්ධාර්ථ පඬිවරුන් සිදු කළ මෙහෙවර තවත් වර්ණවත් කෙළේ ද සුමංගල මාහිමියන්ය. එහි පවත්නා ඌනතා අකාමකා පිරිසිදු මහාවංසයක් බවට අපට දායාද කළේය.
මහාවංසයේ අගට යොදන ලද ග්‍රන්ථ පද විවරණය සිංහල හා ඉංග්‍රීසි උගතුන්ගේ මහත් ප්‍රසාදයට පවා පාත්‍ර වූහ. එම ප්‍රකාශය මෙසේය.
“ග්‍රන්ථ පද විවරණය වනාහි සිංහල ව්‍යාඛ්‍යානයෙහි පෙනෙන දුර්බෝධයයි විඥමිත්‍ර කෙනෙකුන් විසින් ලකුණු කොට දුන් ශබ්ද සංග්‍රහ කිරීමෙන් සම්පාදනය කරන ලදී. ස්වල්ප විශේෂයකින් වෙනස් වූ ශබ්ද දෙකක් ඇති කල්හි පොතේ බොහෝ තැන යෙදුන ශබ්දය ගන්නා ලදී. අනික එයින් සුබෝධයි. සිංහල ශබ්දය දක්වා තදාර්ථ වාචක පාලි ශබ්දයක් දක්වනු පිණිසයි.
පද විපර්යාසය ඇති සමාසවල ප්‍රකෘතිය යොදන ලදී. බොහෝ සේ සංස්කෘත ශබ්දයන් දක්වන්නට කල්පනා කළේ ඒ ශබ්දයන් බෙහෙවින් ව්‍යාඛ්‍යානයේ යෙදුන හෙයින් හා අභිනවයන්ට අභිමත හෙයිනි. ඉංග්‍රීසි තේරුමක් දක්වන්නට යෙදුණේ ඉංග්‍රීසි සමග සිංහල උගන්වන ශාස්ත්‍රශාලාවල උද්ග්‍රහණය කරන තරුණයන්ගේ ප්‍රයෝජනය පිණිසයි.
එවකට ආණ්ඩුවේ මුද්‍රණාලයේ අධිපතිව සිටි එච්.සී. කොවල් මහතා විසින් මුද්‍රණය කරන ලද සිංහල පරිවර්තනය සමග මහාවංස ලොව නොයෙක් පඬිවරයන් අතට පත් කරන ලදී. එම පරිවර්තනය බලා මහතන් පැසසුමට පාත්‍ර කොට ඉංග්‍රීසියෙන් එවන ලද ලිපි සමුදායයක් ද අපට දැක ගන්නට පුළුවන.”
සිදතට සන්නයක්
සිදත් සඟරාවට සන්නයක් ලිවීම ද මාහිමියන් අතින් සිදු වූ තවත් මෙහෙවරකි. සිදත් සඟරාව පරිශීලනය කළ ද එහි අන්තර්ගතයේ පවත්නා සුවිශේෂීත්වය පිළිබඳ සවිස්තරයක් එතෙක් නොතිබුණි.
මේ භාරදූර කාර්යයට ද මාහිමියන් අතගැසුවේය. පසුකාලීනව සිදතට සන්න ලියැවුණ ද ඒ අය ගුරු කොට ගන්නේ මාහිමියන් ලියූ සන්නයයි. ‘බාලාවතාරය’ යනු පාලි ඉගෙන ගන්නවුන්ගේ ප්‍රධාන ව්‍යාකරණ ග්‍රන්ථයයි. බාලාවතාර සන්න අතුරෙන් ඉතාම හොඳ සන්නයයි සැලකෙන ‘ගඩලාදෙණි සන්නයේ’ සමහර තැන් තේරුම් ගැනීම ඉතාම අමාරුය. මේ කරුණු සැලකිල්ලට ගෙන මේ මහඟු කාර්යයට ද සුමංගල මාහිමියන් අතගැසුවේය. ‘සුබෝධිනී ටීකාව’ එහි ඵලයකි. ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන්ගේ ග්‍රන්ථගත ඥානය කෙබඳු ද යන්න තක්සේරු කරන්නට ‘පංචිකාප්‍රදීපය’ උපයෝගී වන්නේ යම්සේ ද ශ්‍රී සුමංගල මාහිමියන්ගේ භාෂා පරිචය ප්‍රාගුණ්‍ය උකහා ගැනීමට සුබෝධිනී නම් වූ බාලාවතාර ටීකාව පරිශීලනය කළ යුතුමය.
බද්ධාබද්ධ සීමා සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් ඇතැම් භික්ෂූන්ට නොමැති හෙයින් නොයෙක් වාද විවාද ඇතිවිය. මේ තත්ත්වය දුටු මාහිමියන් කාණ්ඩ ත්‍රිකයකින් සමන්විත ‘සීමා විභාගය’ සම්පාදනය කෙළේය. මෙය ද මාහිමියන්ගෙන් ප්‍රශස්ථ ග්‍රන්ථයකි.
සමය සඟරාව
ග්‍රන්ථ සම්පාදනය මෙන්ම පුවත්පත් සඟරා සම්පාදනය ද උන්වහන්සේ අතින් සිදු වූහ. 1873 දී එළිදකින ලද සමය සඟරාව එහි තවත් ප්‍රතිඵලයකි. ධර්මය ප්‍රගුණ කරගැනීමට බලපෑ ධර්මගත සඟරාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.
සරසවි සඳරැස
කර්නල් ඕල්කට් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද සරසවි සඳරැස පුවත්පතට නිමිත්ත වූයේත් සුමංගල මාහිමියන්ය. පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය විසින් 1882 දී ආරම්භ කරන ලද මේ පුවත්පත මගින් බෞද්ධ බලය ප්‍රකට කිරීම මූලික අරමුණ විය.
පුවත්පතට සරසවි සඳරැස යන නාමය තබා මේ කවිය ද මාහිමියෝ පබැඳූහ.
සරණට එක ලෙසා නොම හැකිල නෙක දෙස
නරගණ වැඩ නිසා සුවපතන නොවලස
පෙරපඬි සෙට බසා කර ඇසිරු තතු ලෙස
සරසවි සඳරැස පළ කරමු මනා තොස
මේ පුවත්පතට නම පමණක් නොව කතුවරයෙක් ද සපයා දෙන්නට මාහිමියෝ සමත් වූහ. ඒ තමයි ශිෂ්‍යයන් අතරින් පඬිවරයකු වූ වේරගම බෝධිනායක ධම්මාලංකාර පුංචි බණ්ඩාර මහතා. පුවත්පතේ උන්නතියට මාහිමියෝ නිතරම උපදෙස් දුන්හ. ඒ හේතුව නිසාම සරසවි සඳරැස පුවත්පත පාඨකයින් අතර මහත් ප්‍රසාදයට පාත්‍ර විය.
සිළුමිණ සඟරාව
එම සමයේම සිළුමිණ නමින් තවත් සඟරාවක් බිහි විය. එය ද මාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේය. මෙහිලා වැදගත් සිද්ධියක් පුනරුච්චාරණය කිරීම කාල අවධි අනුව සුදුසු යැයි සිතමි.
දුම්රියේ ගමන
දිනක් මාහිමියන් මහනුවර මල්වතු මහා විහාරයට යෑම සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් ගෙන දුම්රියට ගොඩවිය. වතුකරයේ සුදු මහත්වරු දෙදෙනෙක් ද එම මැදිරියේ වුන්හ. අධිමමංකාරයෙන් උපයුක්ත වූ මේ සුදු ජාතිකයින් දෙදෙනා තමන් ගමන් ගන්නා මැදිරියේ මාහිමියන් ගමන් ගැනීම පිළිකුල් කළහ. බුලත් හපමින් සිටි මාහිමියන් තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයකින් පළමුවැනි පන්තියේ දුම්රිය මැදිරියේ ගමන් කරන්නේ වංචා සහගත ලෙස යැයි සිතා මෙය දුම්රිය නිලධාරීන්ට අල්ලා දිය යුතු යැයි ඉංග්‍රීසියෙන් සුදු ජාතිකයන් දෙදෙනා කතාබහ කරන අයුරු මාහිමියන් මැනවින් දැන සිටියේය. කිසිවක් නොදන්නා සේ සිටි මාහිමියන්ට දෛවෝපගත සිද්ධියක් මෙහි දී සිදු විය.
කොළඹ-මහනුවර දුම්රිය පොල්ගහවෙල දී මාරුවන අවස්ථාවේ දී මාහිමියන් වැඩ සිටි දුම්රිය මැදිරියට සමගාමීව කොළඹ බලා ගමන් ගත් විශේෂ රිය මැදිරියේ සිටි සර් ආතර් හැමිල්ටන් ගොර්ඩන් ආණ්ඩුකාරවරයා මාහිමියන් දුටු වහාම නැගිට එම මැදිරියට පැමිණ දැඩි මිතුරකු වූ හෙයින් දෙදෙනා ඉංග්‍රීසියෙන් කතාබහ කොට විනාඩි 11ක් ඒ වෙනුවෙන් දුම්රිය පමා කොට ආණ්ඩුකාරයා කොළඹ බලා පිටත් විය.
මේ සිද්ධිය දුටු අර සුදු ජාතිකයින් දෙදෙනා මහත් පුදුමයටත්, තුෂ්ණිම්භූතවීත් මාහිමියන්ගෙන් සමාව ගත්හ. ඉතාම නිහතමානීව එය පිළිගෙන ශීලාචාර අන්දමින් හැසිරෙන්න කියා අවවාද දුන් ආකාරය ද තවදුරටත් එම වාර්තාවල සඳහන් වේ. මේ අවස්ථාවේ දී සුදු ජාතිකයින් දෙදෙනාට ආචාරශීලීව හැසිරෙන ලෙස දිගු පුරෝකථනයක් ඉංග්‍රීසියෙන් කරන ලදී.
වාද විවාද
හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ වකවානුවේ ‘අධිමාස වාදය’, ‘පාරුපන වාදය’, ‘පානදුරා වාදය’, ‘සව්සත්දම් වාදය’ මුල් තැනක් ගනී. අධිමාස වාදය නිසා බෙන්තර පාර්ශ්වය භේදභින්න වී සිටීම මාහිමියන්ට ගෝචර නොවීය. මේ සම්බන්ධයෙන් සියම් රටට යැවූ ලිපිය මල්වත්තට ද එවන ලදී. ඒ අනුව මෙය සමථයකට පත් කරන ලද්දේ සුමංගල මාහිමියන්ය.
උභයාංශ වාදය ද විශේෂත්වයක් ගනී. මේ වාදයේ දී අනෙක් පක්ෂයේ ප්‍රබලයා වූයේ රත්මලානේ ධම්මාලෝක මාහිමියන්ය. මේ වාදය ද ඉතා උසස් අන්දමින් ගෙන ගියහ. පොතුවිල බැදිගම බත්තරමුල්ලේ ආදි උගත් භික්ෂූන් ධම්මාලෝක මාහිමියන්f් පැත්ත ගත් අතර හෙයියන්තුඩුවේ දේවමිත්ත, වලානේ ධම්මානන්ද මාහිමිවරු හික්කඩුවේ සුමංගල මාහිමියන්ගේ පැත්ත ගත්හ. මේ වාදයේ දී ඇණුම් බැණුම් කිසිවක් නොමැතිව ඉතා සංවරව වාදය පැවැත්විණි.
මේ කරුණු කාරණා සැලකිල්ලට ගත් කල හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් යුගය විසින් නිර්මාණය කරන ලද යුග පුරුෂයෙක් වශයෙන් හැඳින්වීම එතරම්ම නිවැරදිය.
ඉතිහාසය දෙස බලන විට කාලය විසින් කාලයට ඇති වූ ප්‍රශ්න විසඳීමට යුග පුරුෂයන් බිහි කරනු ලැබේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ද එවන් ගණයට ගැනෙන යුග පුරුෂයෙකි.
මාහිමියන් අප අතරින් වියෝ වී වසර 114ක් ගත වුව ද එම චින්තනය එදාට වඩා වලංගු වන්නේ අදටය.
කාලත්‍රයටම එක සමාන ලෙස උපයෝගී වන සුමංගල චින්තනය සුභාෂිතය භාවිතය සුගැඹුරුය. සර්වකාලීන වටිනාකමක් ගැබ් වී ඇත. ඒ නිසාම සුමංගල මාහිමියන් විදුදය පුරා පමණක් නොව දේශ දේශාන්තරවල පවා අමරණීය නාමයක් ලෙස රැව් පිළිරැව් දෙයි. මෙයයි සමාජ සත්‍යය, භාෂා ශාස්ත්‍ර ඥානයේ මහිමය.
ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාරාධිපති විද්‍යොදය ආදිශිෂ්‍ය සංගමයේ කාරක සභික, ශාස්ත්‍රපති
පණ්ඩිත අරම ධම්මතිලක නාහිමි
සංස්කරණය – සුසිල් ජයකොඩි
0722081522