ජනතා ජයග්‍රහණය අතළඟයි – සජිත් අගලවත්ත රැලියේදී කියයි

91

ලක්ෂ 220ක ජනතාවක් දුක්විඳිද්දී ආර්ථික ඝාතකයන් සුවසේ සිටිනවා

අද එන්න එන්නම ජනතාව තුළ අපේක්ෂාවන් ප්‍රාර්ථනයන් වර්ධනය වී ඇති බවත්, සාමාන්‍ය ජනතාව ජයග්‍රහණය කරන යුගය අතළඟ බවත්, සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය තුළ ශක්තිමත් ජනතා කේන්ද්‍රීය ගමනක් ගියත් අනික් කණ්ඩායම් කයිවාරුව පමණක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම සමහර නායකයන් වසර 20-30 දේශපාලන පක්ෂයක නායකයාවෙලා. ඓතිහාසික දේශපාලන පක්ෂ විනාශ කරලා ස්වාධීන වුවත්, සමගි ජන බලවේගයට එවැනි ගැටලු නොමැති බවත් වසර 4ක් පමණ වයසැති සමගි ජන බලවේගය අද මේ තැනට පැමිණ ඇත්තේ ජනතාව නිසා බවත්, පසුගිය දශක කිහිපයේ අමනෝඥ පාලකයන් ගත් වැරැදි තීන්දු නිසා පරම්පරා කිහිපයකට හොඳ අනාගතයක් අහිමි වී තරුණ පරපුරේ සිහින නැති වී ඇති බවත්, ඒ වැරැදි නිවැරැදි කිරීමේ භාරදූර අභියෝගය තමා සතු බවත් මේ රට නිවැරැදි ගමනක යමින් මේ රටේ නායකයා ලෙස උපරිම කැපකිරීම කර ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් කළ හැකි ඉහළම කැප කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මතුගම අගලවත්තේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි.

විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත රට වෙනුවෙන් පොදු ජනයා වෙනුවෙන් දැවැන්ත හඬක් නැගු බවත්, මෙරට ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් පවා අනාවරණය කළේ සමගි ජන බලවේගය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රාජපක්ෂවරු ප්‍රමුඛ කණ්ඩායමම අනාවරණය කළ බවත්, මෙහිදී තමා කිසිදා ෆයිල් පෙන්වා බලයට ආවම හොරු අල්ලනවා කියන රගපෑම නොකළ බවත්, ලක්ෂ 220 වෙනුවෙන් ඒ මූලික අයිතිවාසිකම් තීන්දුව ගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වීසා මගඩිය ගැන රට දැනුවත් කර එය හෙළි කළේද සමගි ජන බලවේගය බවත්, රටේ ලාභ ලබන ආයතන විකුණන අදූරදර්ශී ප්‍රතිපත්තිවලට විරුද්ධව හඬක් නගා ඒවා විකිණීම නවත්වා ගත්තේ සමගි ජන බලවේගය බවත් ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක වන අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලාභ ලබන රාජ්‍ය සම්පත් හා දේපළ විකුණන කුමන්ත්‍රණවලට හවුල්වන රාජ්‍ය සේවකයන්ටද නීතිය හමුවේ දඬුවම් විදීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා ජයග්‍රහණය අතළඟයි - සජිත් අගලවත්ත රැලියේදී කියයි

රාජ්‍ය දේපළ හා සම්පත් අවභාවිතය ඉහළින්ම සිදුවන බවත්, පසුගිය සති 2 – 3 සජිත් ප්‍රේමදාසගේ සක්වළ හා හුස්ම වැඩසටහන තහනම් වුවත්, රජයේ මුදල් වැයකර ජනාධිපතිවරයාට විවිධ විවෘත කිරීම් කරන්න කිසිදු තහනමක් නොමැති බවත් මේ මැතිවරණ සමයේ මේ රාජ්‍ය දේපළ අවභාවිත කළ අය ගැනත් සොයා බලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ලක්ෂ 220 ජනතාව දුක් විඳින විට රටේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් සුවසේ සිටින බවත් අපේ රටේ නිහඬ බහුතරයට හඬක් නොමැති ජනතාවට හඬක් වී ඔවුන් මේ දුකින් මුදවා ගන්නා බවත්, ගම හදා නගරය හදන නගර හදා රට හදන වැඩපිළිවෙළක් තමාට ඇති බවත් මේවා බොරු පොරොන්දු නොව විපක්ෂයේ සිටම ඒවා තමා ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තමා ළඟ රැවටිලි දේශපාලනය, ජනතාව අන්දවන දේශපාලනය නොමැති බවත් කයිවාරු දේශපාලනය නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


advertistmentadvertistment