ජනතා පීඩක වර්ජන

429

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය වසර 130ක් පමණ දීර්ඝ සහ වෘත්තීය අයිතීන් දිනාගත් ඉතිහාසයකට හිමිකම් කියන්නකි. මෙරට පළමු ‘සංවිධානාත්මක’ වෘත්තීය අරගලය හෙවත් වැඩවර්ජනය ලෙස සැළකෙන්නේ 1893 මුද්‍රණකරුවන්ගේ වැඩ වර්ජනය යි. ශ්‍රී ලාංකික ජනතාව තුළ වෘත්තීය සමිති පිළිබඳව පවතින්නේ මිශ්‍ර අදහසකි. වර්ජනය යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවක නියත අයිතියකි. එහෙත් ඒ වෘත්තීය අයිතිය භාවිත කළ යුත්තේ ප්‍රවේශමින් හා වගකීමකින් බව කිව යුතුය. හදිසියේ ආරම්භ කරන වර්ජන තර්ජන නිසා අපහසුතාවයට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය. එවිට වර්ජකයන්ගේ ජාතකය මතක් කරන්නට පොදු ජනයාට සිදුවන්නේ සිය කෝපය මෙන්ම අපහසුතාවයද යටපත් කිරීම සඳහාය. දුම්රිය එංජින් රියැදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දින දුම්රිය ගමන් වාර 35ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබිණි. ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රී 12.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි. කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා දුම්රිය බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා පවසා තිබිණි. වැස්සක් හදිසියේ කඩා හැලෙන ආකාරයට මේ ආරම්භ කරන වර්ජන ගැන නම් ජනයා සිටින්නේ කෝපයෙනි. ගෙදර යන්නට දුම්රිය ස්ථානයට එන මගියාට අද වර්ජනයක් යැයි අසන්නට ලැබුණොත් දැනෙන්නේ කවර හැඟීමක්ද? දුම්රිය වාර ප්‍රවේශපත්‍රය ලබා ගත් තැනැත්තා බස් එකේ යන්නට මුදල් අරන් එන්නේ නැත. මේ වර්ජනය අසන්නට ලැබුණු විට දෙලෝ රත්වන්නේ ගෙදර යන්නටද මුදල් නොමැති නිසාය. ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය දුම්රිය මගියා කොනිත්තා සතුටක් ලබන්නේද? රියැදුරන්ට ප්‍රශ්න තිබෙන්නට පුළුවන. නමුත් ජනතාව පීඩාවට පත්කිරීම කිසිම අවස්ථාවක අනුමත කළ නොහැකිය.

වර්ජනයක් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න වෘත්තීය සමිති ව්‍යාපාරයට අලුතෙන් කියා දිය යුතු නැත. නමුත් වර්ජකයන් අපරාධකරුවන් ලෙස සාමාන්‍ය ජනයා දකී නම් එම වෘත්තීය සටන්වලින් ලැබෙන යහපතක් නැත. එය සමාජ අසහනයට පමණක් හේතුවේ. දුම්රිය මගීන්ද මේ වර්ජනය දකින්නේ අපරාධයක් ලෙස බව පැහැදිලිය. එනිසා වර්ජකයන් ගුටි නොකා බේරුනොත් ලොකු දෙයකි. මරදානෙන් කොටුවෙන් පිටව යන මගී ජනයා ලොකෝමෝටිව් සංගමයේ ගුණ වයන්නේ නම් නැත. පසුගිය දිනක අසන්නට ලැබුණේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බවයි. මෙයින් සිදුවන්නේ රටට යහපතක්ද? සෑමවිටම මේ වර්ජන හරහා සිදුවන්නේ රටේ ඉදිරි ගමනට අකුල් හෙලීමක් පමණක් බව පැහැදිලිය. වර්ජකයන්ට සැර පිළිතුරක් ලබා දීමට විෂයභාර ඇමැතිවරයා කටයුතු කළයුතුය. නැත්නම් වර්ජකයන්ට රට භාර දිය යුතුය. දුම්රිය තල්ලුකර පණගන්වන්නට නොහැකිය. එසේම බිලියන ගණනින් පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුවේ බරද උසුලන්නේ මෙරට බදු ගෙවන ජනතාවය. 2015 සිට 2022 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 245.45ක පාඩුවක් ලබා තිබෙන බව වාර්තා වී තිබේ. පසුගිය අට වසර තුළදී දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති ආදායමට සාපේක්ෂව මුළු වියදම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති අතර වර්ජන හරහා සිදුවන්නේ මේ අර්බුදය තවත් වැඩිවීම පමණකි.

advertistmentadvertistment
advertistmentadvertistment