ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව සජබෙන් මැකොසට පැමිණිලි

31

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කර ඇති බව කියන ප්‍රකාශයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඡන්ද දායකයන්ට අයුතු බලපෑමක් සිදු කර ඇතැයි පවසා සමගි ජන බලවේගය ඊයේ (20 වැනිදා) මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එකී පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

‘ජාතික ජනබලවේගය අතේ ඇති පළාත් පාලන ආයතන වෙත මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී දෙපාරක් නොසිතන බවත් එසේ නොවන ආයතන සඳහා දහ සැරයකට වඩා බලනවා’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කර ඇති ප්‍රකාශය තුළින් ඡන්ද දායකයන්ට අයුතු බලපෑමක් සහ ආණ්ඩු පක්ෂයේ සහ එසේ නොවන ආයතන සඳහා දෙයාකාරයකින් සලකන බව අවධානය කර ඇති බව එකී පැමිණිල්ලේ සඳහන් වේ.

මෙකී ප්‍රකාශ විරුද්ධ මත දරන අපේක්ෂිකයන් සහ දේශපාලන කණ්ඩායම්වලට කරන්නා වූ තර්ජනයක් බවත් එය ඡන්ද මංකොල්ලකෑමක් බව ද එකී ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති මුක්තියට මුවාවී කරන අයුතු බලපෑමක් සහ අපේක්ෂකයන්ට කරන තර්ජනයක් බවත්, ජනාධිපති මුක්තිය ඇතත් මුදල් ඇමැතිවරයා ලෙස ඔහුට එරෙහිව ඒ පිළිබඳව කටයුතු කිරීමට කොමිසමට බාධාවක් නැති බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවය.

කොළඹ නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රුවයිස් හනිෆා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශය පළාත් පාලන මැතිවරණට ඍජු බලපෑමක් බවත් එමගින් මැතිවරණ මූලික සංකල්පය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් කීවේය.

සිරිමන්ත රත්නසේකර


advertistmentadvertistment