ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 20කි.
ශ්‍රී ලංකාවේ 09 වන ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පැවැත් වෙන මෙවර ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂවලින් අපේක්‍ෂකයන් 22ක් සහ ස්වාධීන අපේක්‍ෂකයන් 17ක් ලෙස 39 දෙනෙක් නාම යෝජනා භාර දුන්හ. ඉන් ස්වාධීන අපේක්‍ෂකයකු වන මුහම්මද් ඉල්ලයාස් මහතා අභාවප්‍රාප්ත විය.
ඔවුන් අතරින් මේ වනවිට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ අපේක්‍ෂකයන් පස්දෙනෙක් පමණි. ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩර ලකුණින් ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ‘පුළුවන් ශ්‍රී ලංකා’ නමින් ඉකුත් 29 වැනිදා එළි දැක්විය. එදිනම සමගි ජන බලවේගය පක්ෂයෙන් දුරකථනය ලකුණින් තරග කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘සැමට ජයක්’ ද එළි දැක්වීය. ජාතික ජන බලවේගය පක්ෂයෙන් මාලිමාව ලකුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එහි නායක අනුර කුමාර දිසානායක මහතා ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය 26 වැනිදා එළි දැක්වීය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් තරුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දිලිත් ජයවීර මහතා සර්ව ජන බලය නමින් ව්‍යවසායක කෙටුම්පතක් කොටස් තුනකට එළි දක්වා ඇත. ‘නංවන රටක් සතුට පිරුණු දැයක්’ නමින් නම් කර තිබේ.
සමාජවාදී ජනතා සංසදයෙන් ඉදිරිපත්ව සිටින නුවන් බෝපගේ මහතා ජනතාවගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජූලි මස 31 වැනිදා එළිදැක් වීය.
ඔවුන් සියලුදෙනාම තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් කරනු ලබන වැඩපිළිවෙළ එහි සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් නොව, රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුධයට විසඳුම් ලබාදීම සඳහා ක්ෂණික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නුවන් බෝපගේ සහ දිලිත් ජයවීර ජනාධිපති ධුර කාලය සඳහා පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.
සෙසු අපේක්‍ෂකයන් මේ දක්වා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වා නැත. ඉන් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතා හෝ මේ දක්වා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර නොතිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමු පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්‍ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (02දා) එළිදක්වන බව සඳහන් කරයි.
අනෙකුත් අපේක්ෂකයන් ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වනු තබා ජන රැලියක් හෝ පවත්වා නැත. ඒ නිසා ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ කුමණ අරමුණින් දැයි සිතාගත නොහැකිය.
විජයදාස රාජපක්‍ෂ මහතා මාධ්‍ය හමු පවත්වමින් අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන අදහස් සම්බන්ධව සිය මතය ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නොහැකි බවත්, කැබිනට් මණ්ඩලය 25කට සීමා කිරීම දැනටමත් සිදුකර ඇති බවත් ලෙස ඔහු සෙසු අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රධාන යෝජනාවලට පිළිතුරු දෙයි.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ක්‍රිකට් පිත්ත ලකුණින් ඉදිරිපත්ව සිටින රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමු පවත්වමින් පවසන්නේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව පවතින අර්බුධ තමා ජනාධිපති ලෙස පත්වූ විට විසඳන බවය.
කළුලෑල්ල ලකුණින් ඉදිරිපත්ව සිටින තවත් ස්වාධීන අපේක්ෂකයෙක් වන අක්මීමන දයාරත්න හිමියෝ පවසන්නේ තමාට ජනාධිපතිවරණ යෙන් ජයගත නොහැකි බවය. නමුත් තමා ඉදිරිපත්ව සිටින්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රිධුරයක් ලබාගැනීමේ අරමුණින් බවය.
අභිනව නිවහල් පෙරමුණ පක්ෂයේ අපේක්ෂක ඕෂල හේරත් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත් රජයේ සේවකයන්ගේ වැටුප් සියයට සියයකින් ඉහළ නංවන බවත්ය.
එක්සත් සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින සිරිතුංග ජයසූරිය මහතා මාධ්‍ය හමු පවත්වමින් පවසන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවය.
සරත් කීර්තිරත්න, කේ. කේ. පියදාස, අජන්ත ද සොයිසා, බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් මනමේන්ද්‍ර, අපේක්‍ෂකයන් මීට පෙර ද ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ය. ඔවුන් පෙර පරිදි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවට නම සටහන් කරගෙන නිහඬව සිටිති.
සෙසු අපේක්‍ෂකයන් ජනාධිපතිවරණ සටනට නවකයන් නිසා එය අධ්‍යයනය කරමින් සිටිනවා විය හැකිය.
නමුත් ඔවුන්ගේ අධ්‍යයනය වෙනුවෙන් රටේ ජනතා මුදලින් රුපියල් කෝටි ගණනක් වැය කිරීමට සිදුව ඇත.
ගුවන් විදුලිය සහ රූපවාහිනිය මගින් නොමිලයේ ගුවන් කාලය ලබාදීම සිදුව තිබේ. සිය ප්‍රචාරක කටයුතු සඳහා ලිපි ලේඛන යැවීමට නොමිලයේ තැපැල් පහසුකම් හිමිව ඇත.
මෙලෙස අසීමිත ලෙස අපේක්‍ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පටන් ගත්තේ 1994 ජනාධිපතිවරණයේ සිටය. එම ජනාධිපතිවරණයේ සිට ස්වාධීන අපේක්‍ෂකයන්ට ද ඉදිරිපත් වීමට අවස්ථාව උදාවීම ඊට හේතුවය. එතෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වූයේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක අපේක්ෂකයන්ට පමණි.
ලියාපදිංචි පක්ෂයක අපේක්ෂකයෙක්නම් රුපියල් පනස් දහසක (රු. 50,000) මුදල් ඇපයක් ද ස්වාධීන අපේක්ෂකයෙක් නම් රුපියල් හැත්තෑ පන් දහසක (රු.75,000) මුදල් ඇපයක් ද තැන්පත් කිරීමෙන් පසු ජනාධිපති අපේක්‍ෂකයෙක් විය හැකිය.
ඒ තරමට අප රටේ විධායක ජනාධිපති ධුරය සඳහා වූ අපේක්ෂකත්වය හෑල්ලුවට ලක්ව ඇත.
මෙය වෙනස් කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් නම් රුපියල් ලක්ෂ විසිපහක් ද, ස්වාධීන අපේක්ෂකයෙක්නම් රුපියල් ලක්ෂ තිහක් ද ලෙස ඇප මුදල් තැන්පතුව සංශෝධනය කිරීමට මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව යෝජනා කර තිබුණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණේ නැත. ඒ නිසා එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි විය. නමුත් ඇතැම් යෝජනා ඉතා කඩිනමින් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට පැවැති උනන්දුව පසුගිය කාලයේ ජනතාවට දැක ගතහැකි විය. එම ඇතැම් යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්‍ෂේප කිරීම ද සිදුවිය. නමුත් මෙම යෝජනාව කාටත් හොරා හමස් පෙට්ටියට ගොස් ඇත.
උපාලි ද සේරම්