ජනපති සටනින් බයිඩන් ඉවත් කරන්න – නිව්යෝර්ක් ටයිම්ස් කියයි

338

2020 ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගැණුනු අතර, එහිදී පොලිසිය විසින් ගනු ලැබූ ඔහුගේ මුහුණු ඡායාරූපය, පොලිස් පොතේ ඇමිණීමට ගනු ලැබූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකුගේ පළමු ඡායාරූපය ලෙස ඉතිහාසගත විය. පසුව ඇට්ලැන්ටා බන්ධනාගාරයෙන් හිටපු ජනපති මුදාහැරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 200,000ක ඇපකරයක් ගෙවීමට සිදුවිය. බන්ධනාගාර වෙබ් අඩවියේ පළ කරන ලද වාර්තාවල ට්‍රම්ප්ගේ විස්තර කර තිබුණේ, සුදු පිරිමි පුද්ගලයෙක්, උස අඩි 6 අඟල් 3ක් සහ බර රාත්තල් 215ක් (කිලෝග්‍රෑම් 97), දුඹුරු හෝ ස්ට්‍රෝබෙරි හිසකෙස් සහ නිල් ඇස් ඇති බව ය. ඔහුගේ රැඳවි අංකය P01135809 විය. තමා මෙලෙස බන්ධනාගාරගත වීමේ සිද්ධිය හැඳින්වූයේ, “යුක්තියේ සරදමක්” ලෙස ය. නඩු තුනක සමස්ත අපරාධ චෝදනා 78කට මුහුණ දෙමින් සිටින ට්‍රම්ප් නැවත වරක් ඇමෙරිකාවේ ජනපති බවට පත්වීම වැළක්විය නොහැකිව තිබේ. එය ලෝකයට කවර ආකාරයෙන් බලපානු ඇත්ද? 2020 දී ට්‍රම්ප් පරාජය මෙරට ජාතිකවාදීන්ට නම් කනගාටුවක් විය.

ඉකුත් වසරේදී තම සිරකරු ඡායාරූපය (Mug shot) භාවිතා කරමින් මැතිවරණ ව්‍යාපාරය සඳහා වාර්තාගත ලෙස අරමුදල් රැස්කිරීමට ට්‍රම්ප් මහතාට හැකි විය. පළමු දින පමණක් ඩොලර් මිලියන 4.18ක් හා පළමු සතිය තුළ ඩොලර් මිලියන 20ක් රැස් කිරීමට ප්‍රචාරණ ව්‍යාපෘතියට හැකි විය. ඡායාරූපය සහිත ටී ෂර්ට්, පෝස්ටර, ස්ටිකර් ආදිය අන්තර්ජාලය හරහා උණු කැවුම් මෙන් විකිණෙන්නට විය. බොහෝ අයිතමයන් අලෙවි වන්නේ “කිසිදිනක යටත් නොවන්න! (Never Surrender!)” යන ආදර්ශ පාඨය සහිතවයි. තමන්ට එරෙහිව පවතින නඩු සියල්ල දේශපාලන පලිගැනීම් බවත් තමන් කිසිදු වරදක් කර නොමැති බවත් ට්‍රම්ප් මහතා පුන පුනා පවසයි. එසේම එල්ල වන ඕනෑම චෝදනාවකින් විශාල වාසියක් ලබා ගැනීමේ සැලසුම් සහගත සෘණාත්මක ප්‍රචාරණයක් ඔහු විසින් ක්‍රියාත්මක කර ඇති බව දැන් පැහැදිලිය. එයින් ඔහු වටා සිටින උපදේශකයන්ගේ මනා ක්‍රියාකාරීත්වය හොඳින් ඉස්මතුවේ.

ඉදිරි වසර හතර සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට එරට 45 වැනි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ 46 වැනි ජනපති ජෝ බයිඩන් අතර තරගය නොවැම්බර් මාසයේදී පැවැත්වේ. රට පුරා සිටින ඇමෙරිකානුවන් ජනපතිවරයා තේරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ද මෙම තරගයේ අවසාන ප්‍රතිඵලය නැවතත් තීරණය වනුයේ ප්‍රාන්ත අතළොස්සකින් පමණි. එනම් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඇති ඡන්ද විද්‍යාල ක්‍රමයයි. එය එක් එක් ප්‍රාන්තය ජයග්‍රහණය කරන අපේක්ෂකයන් මත රඳා පවතින අතර බොහෝ ප්‍රාන්ත දැඩි ලෙස ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් වන බැවිනි. ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යන ඇමෙරිකානුවන් සැබවින්ම සිය ඡන්දය දෙන්නේ ඡන්ද විද්‍යාලය සකසන නිලධාරීන් සමූහයකට ය. එනම්, සරලව “විද්‍යාලය” (college) යන පදය භාවිත කරන්නේ එක් කාර්යයක් පැවරෙන පුද්ගලයන් කණ්ඩායමකට ය. එම පුද්ගලයන් තෝරාගැනීම කරන තැනැත්තන් (වරකයින් – electors) වන අතර ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරාගැනීම ඔවුන්ගේ කාර්යය වේ. ඒ ඒ ප්‍රාන්තවල තෝරාගැනීම කරන්නවුන්ගේ (වරකයින්) සංඛ්‍යාව දළ වශයෙන් එම ප්‍රාන්තයේ ජනගහනය අනුව සැකසේ. මුළු වරකයින් සංඛ්‍යාව 538 ක් වේ.

වැඩි ම වරකයින් ප්‍රමාණය කැලිෆෝර්නියා ප්‍රාන්තය සතු ය. එම සංඛ්‍යාව 55 කි. වයෝමිං, ඇලස්කා හා නොර්ත් ඩැකෝටා (සහ වොෂිංටන් අගනුවර) වැනි ජනගහනයෙන් අඩු අතළොස්සක් ප්‍රාන්තවලට අවම ප්‍රමාණය වූ තිදෙනකු හිමිවේ. මේ සෑම දෙනෙකුට ම එක් ඡන්දය බැගින් හිමිවන අතර ජනාධිපති ධුරය ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයකු ඡන්ද 270 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සතු කරගත යුතුය.

ජාතික මැතිවරණවලදී ආර්ථික සාධක මත ඇමෙරිකානුවෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නැඹුරු වන වෙති. එනම්, ආර්ථික වශයෙන් යහපත් කාලවලදී ආණ්ඩු පක්ෂයටත් අයපහත් කාලවලදී විපක්ෂයටත් ඔවුහු ඡන්දය ලබා දෙති. 1992 සාර්ථකත්වයට පත් වුණු බිල් ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මන්ත්‍රය වූයේ “ඒක තමයි ආර්ථිකය, මෝඩයෝ” යන්නයි, එතැන් පටන් එම වැකිය දශක ගණනාවක් දක්වා දේශපාලන මූලධර්මයක් බවට පත් විය.

2024 ඇමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පළමු රූපවාහිනි විවාදය 78 හැවිරිදි අපේක්ෂකයා හා 81 හැවිරිදි වර්තමාන ජනපතිවරයා අතර පැවති අතර එහි වීරයා බවට පත්වූයේ හිටපු ජනපති ට්‍රම්ප් වේ. මන්ද මේ විවාදයේදී බයිඩන් ජනපති බරපතළ ලෙස අසාර්ථක විය. එම විවාදයේදී දෙදෙනා කිසිම විටක අතට අත නුදුන් අතර පෞද්ගලික කරනා පවා කියමින් එකිනෙකාට චෝදනා කරගත්හ. බයිඩන් ජනපතිගේ පුතාට එල්ලවී ඇති මත්ද්‍රව්‍ය චෝදනා ගැන ට්‍රම්ප් කියද්දී බයිඩන් සිය ප්‍රතිවාදියා කාම චිත්‍රපටවල නිලියන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා කළේය. එක් අවස්ථාවක ට්‍රම්ප් “මේ වගේ බොරුකාරයෙක් මම දැකලා නැහැ” යනුවෙන් පැවසූ අතර එයට ප්‍රතිචාර ලෙස බයිඩන් ඔබට තියෙන්නේ අයාලේ යන බලලෙකුගේ සදාචාරයක් යැයි හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල කළේය. සමහර අවස්ථාවල බයිඩන්ට තමන් කියන කාරණා නිවැරදි ආකරයෙන් ගොනු කර ගැනීමට නොහැකිවූයේ ඔහුගේ වයස්ගත ස්වාභාවය නිසා විය හැක. මේ හේතුවෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය ගැන කනස්සල්ල පළකර තිබිණි. එම පක්ෂයේ අභ්‍යන්තරික ක්‍රියාකාරීන් පවසන්නේ ඔහුගේ මුල් පිළිතුරු කලබලයට හේතු වූ බව ය. බයිඩන්ට මේ වාදය අයහපත් ඉරණමක් ළඟා කිරීම නිසා උප ජනපතිනි කමලා හැරිස් තම නායකයා ආරක්ෂා කරමින් කියා තිබුණේ “මන්දගාමී ආරම්භයක්, නමුත් ශක්තිමත් නිමාවක් තිබුණා” යනුවෙනි. එහෙත් දැන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසනේ බයිඩන් වෙනුවට මිෂෙල් ඔබාමා ජනපති තරගයට ඉදිරිපත් කළ යුතු බවය. එහෙත් ඇගේ සැමියා ජනාධිපති බැරක් ඔබාමා සිකුරාදා සමාජ මාධ්‍ය සටහනක් මගින් බයිඩන් ආරක්ෂා කර තිබිණි. “නරක විවාද රාත්‍රීන් ඇති වේ,” යනුවෙන් ඔහු සටහන් කර තිබිණි. එහෙත් කිසිම අවස්ථාවක තමා දේශපාලනයට පැමිණෙන බව හිටපු ජනපති බිරිය පවසා නැත.

මේ අතර ඇමෙරිකාවේ ප්‍රමුඛතම පුවත්පත වන නිව්යෝර්ක් ටයිම්ස් පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ බයිඩන් ජනපතිවරයා ලබන ජනපතිවරණ සටනෙන් ඉවත්කිරීම රටට ලොකුම සේවය වනු ඇති බවයි. මේ ප්‍රකාශය සිදු කළේ විවාදයට පසු දිනයේය. ජනපතිගේ දුර්වල ක්‍රියාකාරීත්වය බ්‍රහස්පතින්දා රාත්‍රිය පුරාවට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් භීතියට පත්කළ බවත් ඇමෙරිකානු නායකයා වෙව්ලන ස්වාභාවය නිරීක්ෂණය වීමත් ඔහු කතාව ආරම්භ කරන ාක්‍ය අවසන් කිරීමට මහත් වෑයමක් දරූ බව එම පුවත්පත සිය කතුවැකිය හරහා පවසා තිබිණි. මේ නිසා ඔහුගේ වයස සහ ජනපති ධුරය දැරීමට ඇති හැකියාව පිළිබඳ භීතිය වැඩි කළ බව එම පුවත්පත කියයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රමුඛ තීරු ලිපි රචක තෝමස් එල් ෆ්‍රීඩ්මන් සටහනක් තබමින් පවසා තිබුණේ සිය ජනපති “මිතුරාට” පසෙකට වන ලෙසයි. එනම් ඉදිරි මැතිවරණ සටනින් ඉවත්වන ලෙසයි. “හොඳ මිනිසෙක් සහ හොඳ ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන්ට නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු හැකියාවක් නැත,” යනුවෙන් ඔහු සටහන් කර තිබිණි. එහෙත් සිකුරාදා දිනයේ උතුරු කැරොලිනාවේ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගිවෙමින් ජනපති බයිඩන් පවසා තිබුණේ “මම ඉස්සර තරම් ලේසියෙන් ඇවිදින්නේ නැහැ, මම ඉස්සර තරම් සුමටව කතා කරන්නේ නැහැ, මම ඉස්සර තරම් හොඳින් වාද කරන්නේ නැහැ, නමුත් මම දන්නා දේ මම දනිමි. ඇත්ත කියන්න මම දන්නවා.” යනුවෙනි.

බයිඩන් – ට්‍රම්ප් විවාදය ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට ලක්විය. රුසියානු මාධ්‍ය පැවසුවේ ජනපති බයිඩන් මෙහිදී ඉතාම දුර්වල ස්වාභාවයක් පෙන්නුම් කළ බවයි. පැය එකහමාරක් සජීවීව වැඩසටහනකට සහභාගි වීම මානසික හා ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂණයක් නමුත් ජනපතිට මෙයට ඔරොත්තු දීම දුෂ්කර වූ බව රුසියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබිණි. චීන ආණ්ඩුවට අයත් අයත් ග්ලෝබල් ටයිම්ස් මෙම විවාදය විස්තර කරන්නේ “රියැලිටි වැඩසටහනක් වැනි” ලෙසයි. චීන මාධ්‍යවලට අවශ්‍ය වන්නේ ඇමෙරිකානු ජනපති අපේක්ෂකයන් දෙදෙනා කෙරෙහි ඇමෙරිකානු ඡන්ද දායකයන් අතර උදාසීනත්වය සහ කලකිරීම ප්‍රකට කිරීම වෙනුවෙන් මතයක් නිර්මාණය කිරීමටය. ඇත්තෙන්ම මේ වවාදයෙන් පසුව “ඇමෙරිකාවේ අනාගතය ගැන කනස්සල්ලක් මතුවන බව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. ඉන්දියානු මාධ්‍ය බ්‍රහස්පතින්දා විවාදයේදී හිටපු ජනපතිවරයා වඩා ආක්‍රමණශීලී වූ බව සඳහන් කර තිබිණි.

ඇත්තෙන්ම 2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට පෙර සිටම ඇමෙරිකාවේ වඩාත් ම ප්‍රසිද්ධියට පත්වූ, සෑම අතින්ම කැපී පෙනුණු ධනවතා විය. ට්‍රම්ප් ඇමෙරිකාව තුළ කවුරුත් දන්නා චරිතයක් බවට පත්වූයේ ඇමෙරිකානු රූපවාහිනියේ ‘ද ඇප්‍රන්ටිස්’ වැඩසටහන ඔස්සේය. 2003 වසරේ දී එන්බීසී රූපවාහිනියේ ‘ද ඇප්‍රන්ටිස්’ රියලිටි වැඩසටහනින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ට්‍රම්ප් වැඩසටහන් ‘සීසන්’ 14 සඳහා සහභාගි විය. ඒ සඳහා ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 213ක් එම ආයතන විසින් ගෙවනු ලැබූ බව සඳහන් වේ. ග්‍රන්ථ කිහිපයක්ද රචනාකර ඇති ට්‍රම්ප් වතුර බෝතලයේ සිට ඇඳුම් දක්වා වූ සියලු ආකාරයේ භාණ්ඩ වෙළෙඳාමේ යෙදෙන්නෙකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment