සකෝ ! බල ලෝ – හිටපු මැකෝ අහුවුණාද? දේශපාලන කෞටිල්‍යලාගේ ප්‍රජාතන්ත්‍රවාදී කොස්ඇට බෑම!

231

මේ වසරේදී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 1657 කින් ඉහළ ගොස් තිබෙන බව (රුපියල්වලින් නම් කෝටි එක්ලක්‍ෂ හැටපන්දහස් හත්සියයක්) මුදල් කාරක සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා (නොවැ. 08) ප්‍රකාශ කර තිබේ. එය මේ රටේ වසරක ආදායම ඉක්මවාලන අති විශාල මුදලක් බව ද ඔහු පෙන්වා දෙයි. මේ අණතුරු ඇඟවීම ආර්ථික දෘෂ්ටි කෝණයකින් විශ්ලේෂණය කළ යුතු වුවද එයට කිසියම් දේශපාලන විසඳුමක් ලබාදිය හැකි බව ද අපට හැඟේ. ආචාර්ය හර්ෂ ද සිල්වා යෝජනා කරන රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේදී මූලිකව සිදුකළ යුත්තේ මේ ආර්ථික සැලසුමට සමගාමීව දේශපාලනික කළමනාකරණයක් බව අපගේ අදහසය. ආර්ථික විiාවේ එන පාරිභාෂික වචනවලින් කියැවෙන්නේ ද අපට ඔරොත්තු දෙන, දරාගත හැකි නැතහොත් අරපිරිමැසුම් සහිත ක්‍රමවේදයක් අනුව ක්‍රියාකළහොත් එබඳු මුදල් අර්බුද යම් ප්‍රමාණයකට සමනය කළ හැකි බවය. එහෙත් මේ රටේ ආර්ථිකය බිඳ වැටීමේ මූලික හේතු අතර දූෂණය, නාස්තිය, වංචාව හා හොරකම ද තිබෙන බව කව්රුත් දනිති.

ගෝඨාභය පාලන සමයෙහි මෙරට ආර්ථිකය මෙහෙය වූයේ ඔහුගේ සහෝදරයා වූ මුදල් ඇමැති බැසිල් සමඟ පොහොට්ටුවේම අනුගාමික පිරිසකි. මහ බැංකුවේ අධිපති වූ කබ්රාල් විටෙක පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආණ්ඩුවේ ආර්ථික සැලසුම් වෙනුවෙන් පෙනී සිටි අතර පසුව ඔහු සෘජුවම මහ බැංකු අධිපති ධුරය භාරගෙන ක්‍රියා කළේය. ඒ ක්‍රියාන්විතයේ විපාක ජනතාවටත්, රටටත් ලබා දී ඔහුත් ඔහුගේ මුදල් ඇමැති බැසිල් පමණක් නොව ඒ සියල්ල අනුමත කළ ගෝඨාභය ද දැනට දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී සුපුරුදු ජීවිත ගෙවමින් සිටිති. ඔවුන් විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය භාරකරන ලද්දේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ද වූ රනිල් වික්‍රමසිංහටය. මේ වනවිට ඔහු ආර්ථිකයේ මෙන්ම රටේ ද භාරකරු වී සිටියි. ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරයා ද ඔහුය.

ජනාධිපති රනිල් ආර්ථිකයෙන් උද්ගත වූ අර්බුද ගණනාවක්ම යම් ප්‍රමාණයකට පාලනය කළ බව අප පිළිගත යුතුය. එහෙත් ඔහු ඉමහත් බලාපොරෝත්තු රඳවාගෙන සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් ඔවුන්ගේ පූර්ණ අනුග්‍රහය ලබා දී නැත. ජනාධිපති රනිල් ඒ සඳහා වුවමනා තාක්‍ෂණ කටයුතු නිවැරදි කරමින් සිටියි. ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි ක්‍රියාකාරකම් සම්පූර්ණ කර ගැනීමේ මෙහෙයුමක ද නිරතව සිටියි. ඒවා සාර්ථක වී රටට ලැබෙන ප්‍රතිලාභ, ආර්ථික ගැටලු ලිහී යෑම ආදිය හෙට දවසට භාර වූවකි. එහෙත් එයට පෙර ආණ්ඩුවේ අවධානය යොමුවිය යුත්තේ ආචාර්ය හර්ෂ යෝජනා කළ රාජ්‍ය වියදම් අඩුකර ගැනීම සඳහාය. නැතහොත් වියදම් කළමනාකරණයක් සිදුකිරීම කෙරෙහි ය.

අද රටේ සමාජ දේශපාලන අංශවලින් නිරන්තරව කෙරෙන චෝදනාවක් මෙන්ම විවේචනයක් වන්නේ ද දූෂණය, හොරකම, වංචාව, අල්ලස හා නාස්තිය ගංවතුරක් මෙන් ගලායන බවය. දිනපතා ජනමාධ්‍යවලින් වාර්තා කෙරෙන දූෂණ හොරකම් හා නාස්තිය ගැන ආණ්ඩුවේ සංවේදී බව ඉතා අඩු බව ද පෙනේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව අඩපණ වී තිබෙන බව ද මාධ්‍යවලින් හෙළිකර ඇත. එහෙත් ඊට වඩා බරපතළම විනාශය වන්නේ ඉවක් බවක් නොමැතිව සිදුවන දූෂණ, වංචා හා අක්‍රමිකතාවන්ය. මේ වනවිට විසුරුවා තිබෙන පළාත් සභා කෝටි ගණනින් මුදල් ගිලින බහිරවයකු වී සිටින බව ආණ්ඩුව දැන සිටිය යුතුය. විශේෂයෙන් විදුලිය, ඉන්ධන, ගෑස් හා ඖෂධ සම්බන්ධ මිලදී ගැනීම් පිළිබඳව දැඩි විවේචන සිදු වේ. පාඨලී චම්පික මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළේ තෙල්, ගෑස්, ගල්අඟුරු ගෙන්වීම දූෂිත ක්‍රියාවලියක් බවත් ඒවා ගැන ජනතාව ද සැකමුසුව බලන බවත් ය. මේ චෝදනාව වෘත්තීය සංවිධානවලින් ද සෑහෙන කලක සිට නැගෙන්නකි.

මෑතකදී ඖෂධ මිලදී ගැනීමේදී සිදුවුණු බරපතළ දූෂණ ගණනාවක් ගැනම වාර්තා විය. රු. 250 ක එන්නතක් මිලදී ගැනීමට රුපියල් හතළිස්දහසකට ද වැඩි මුදල් ගෙවන්නේ නම් ඒ ගනුදෙනුව ගැන අමුතු විශ්ලේෂණ වුවමනා නැත. රාජ්‍ය ඖෂධ සංස්ථාව සම්බන්ධව විමර්ශනයක් කළ විගණකාධිපති නිලධාරීන් සඳහන් කර ඇත්තේ ඒ එන්නත මිලදී ගැනීම නොනිසි ගනුදෙනුවක් බවය. ලක්‍ෂ 3 ක් වෙනුවට ලක්‍ෂ 7 ක් ගෙවා ඇති බව ද එහිදී හෙළි වී තිබේ. විගණන වාර්තා අනුව එම එන්නත ලිංගික උත්තේජනය සඳහා භාවිතා කරනු ලබන පැපවරීන් නමැති එන්නතක් බව ද සඳහන් වේ. රටේ බොහෝ රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් පවතින වාතාවරණයක් තුළ මෙබඳු එන්නතක අවශ්‍යතාව කුමක්ද යන්න ද අදාළ බලධාරීන් පැහැදිලි කළ යුතුය.

සකෝ ! බල ලෝ - හිටපු මැකෝ අහුවුණාද? දේශපාලන කෞටිල්‍යලාගේ ප්‍රජාතන්ත්‍රවාදී කොස්ඇට බෑම!

මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී තිබෙන පරිමාව රහසක් නොවේ. ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරුන්ට පවා තමන් යටතේ තිබෙන සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසයක් නැති බව දැන් කලක සිටම හෙළිවී තිබෙන යථාර්ථයකි. හැම සෞඛ්‍ය ඇමැතිවරයෙක්ම ප්‍රතිකාර සඳහා දිව යන්නේ පිටරටකටය. ඒ ජනතාවගේ මුදලින්ය. එහෙව් ඇමතිලාගෙන් බලාපොරොත්තු විය හැකි සුව සේවය කුමක්ද?. දේශපාලනකරනීය වී තිබෙන සෞඛ්‍ය සේවය හැමදාම අදාළ ඇමැතිවරුන්ගේ මිත්‍ර සමාගම් හා ඖෂධ සමාගම්වල දියුණුව උදෙසා ක්‍රියා කළ ආකාරය ද රටම දනී. මහරගම පිළිකා රෝහල හා රිජ්වේ ළමා රෝහල සම්බන්ධව තිබෙන මූලික ගැටලුව වී ඇතතේ ද අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීම බව වාර්තා වේ. මේ අතරම කොවිඩ් වසංගතය වෙනුවෙන් ගෙන්වූ ඇතැම් ඖෂධ විනාශ කිරීමට ද සිදු වී ඇත. මේ හැම තැනකදීම වැය වන්නේ ජනතාවගේ මුදල් බව පමණක් අපි සඳහන් කරමු.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක් රැයකින් විසඳීමට හැකි විශ්වකර්මයෙක් මේ ආණ්ඩුවේ තබා මිහිතලයේ කොතැනක හෝ සිටින බවක් කිව නොහැක. එහෙත් ආණ්ඩුවක් ක්‍රියාකළ යුතු ආකාරය හා ප්‍රමුඛතාව ලබාදිය යුතු දේවල් ද නිවැරදිව තෝරා නොගන්නේනම් එබඳු අර්බුදයකින් රට ගොඩගැනීම පහසු නැත. මිල උද්ධමනය, ආහාර හිඟය වැනි කරුණුවලින් වඩාත් පීඩනයට පත්ව සිටින්නේ මධ්‍යම පන්තියත් සාමාන්‍ය ජනතාව හා ස්වයං ආර්ථික සැලසුම්වලින් වේල පිරිමහගන්නා ජන කොටස් ය.

ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා මොන ප්‍රකාශ කළත් තවමත් වී ගොවීන් ඇතුළු බොහෝ ගොවිතැන් කටයුතුවල යහපත් ප්‍රගතියක් ලබා නැති බව ඒ පිළිබඳ පළවන විවිධ වාර්තා අනුව පෙනී යයි. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම අමතක කර දමා ඇත. රජයේ සහල් මෝල් නිසි පරිදි තම කටයුතු සඳහා යොමු වී නැති බව ද කියති. පෞද්ගලික මෝල් හිමියන්ගේ අණසකට හාල් වෙළෙඳාම යටත් වී තිබෙන බව වෙළෙඳ සංගම් කියන්නේ සෑහෙන කලක පටන්ය. ගොවිතැන ජීවන වෘත්තිය බවට පත්කර ගත් හැම ක්‍ෂේත්‍රයකින් නැඟෙන චෝදනා මැසිවිලි අප්‍රමාණය. අල, ලූනු, බඩඉරිඟු වැනි ගොවීන්ගේ දුක් කඳුළු කොපමණ ද? පසුගිය දිනක කෝප් කමිටුවේදී අනාවරණය වූයේ එළවළු බීජ මිල අහස උසට නැඟ තිබෙන බවය. ඇතැම් බීජ වර්ග මිල කර ඇත්තේ රුපියල් ලක්‍ෂ ගණනින් බව ද එහිදී ප්‍රකාශ විය.

කෘෂිකර්මය පිළිබඳ ප්‍රාමාණික විද්වත්හු අපට සිටිති. නව තාක්‍ෂණ උපදෙස්වල අඩුවක් ද නැත. මෙම ක්‍ෂේත්‍රයෙන් රට ඉදිරියට නොයන්නේ එයට යොමු වී තිබෙන අඩු අවධානය නිසාය. වගා සංග්‍රාම, ගොවි විප්ලව ගැන පුරාජේරු අඩු නැති වුවත් ඒවා කිසි දිනක මහපොළොව සමඟ සම්බන්ධ නොවන දේවල් බව ද කියති. හාල්, එළවළු හිඟය අපට විසඳුම් දිය හැකි ක්‍ෂේත්‍රවලට අවධානය යොමු නොවීම නිසාය.

සමාජ – ආර්ථික – දේශපාලන අර්බුද මතුපිටින් බලා පැලැස්තර යෙදීම දැන් සෑහෙන කලක සිට සිදුවන්නකි. ඇත්ත වශයෙන්ම අද මේ රටේ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් (ඉහළ තලයේ) නඩත්තුව ද දැඩි සීමාවකට යටත් විය යුතුය. රටට උහුලා ගත නොහැකි ඇමැති මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමැතිවරුන් 38 ක් වැනි සංඛ්‍යාවක් සඳහා වැයවන මුදල සුළුපටු නොවන බව ආණ්ඩුවට වුවද පෙනී යනු ඇත. එහෙත් ඒ ඇමැතිවරුන්ගේ විශේෂ දස්කම් හෝ අලුත් සමාජ ක්‍රියාකාරකම් හෝ සිදුවන බවක් මෙතෙක් පෙනී ගොස් නැත. ගෝඨාභය සමයෙහි සිටි බොහෝදෙනෙක් තවමත් ඇමැති ධුර හොබවන නමුදු ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන අදත් වැඩිපුර ඇසෙන්නේ විවේචන පමණි. කිසිදු ඇමැතිවරයකුගේ වරප්‍රසාද අඩුවූ බවක් ද වාර්තා වී නැත. රට කෙබඳු විනාශයක හිර වී තිබුණත් දේශපාලන වරප්‍රසාදවලට කිසිම ආණ්ඩුවක් අත තියනු ඇතැයි සිතිය නොහැක. මේ අර්බුද අස්සේත් කෝටි ගණන් වටිනා තීරුබදු රහිත වාහන ආනයනය කර තිබෙන බවට ජවිපෙ චෝදනා කරයි. ජවිපෙ අනුර කුමාර චෝදනා කරන්නේ මහජන මන්ත්‍රීවරයකුගේ දොළදුක් සපුරාලීමට විශාල පිරිවැයක් දරන පාලන ක්‍රමය වහාම වෙනස් විය යුතු කාලය ද එළඹ තිබෙන බවය.

ගාලුමුවදොර අරගලයේ ප්‍රමුඛ ඉල්ලීම වූයේ ද මෙම පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බවය. එම අරගලය පිළිබඳ විවිධ කියවීම් තිබේ. එහි නොයෙක් නිෂේධනීය ලක්‍ෂණ ද තිබේ. එහෙත් එම අරගලයේ හඬට අවනත වීමට එදා සිටි ගෝඨාභය ජනාධිපතිවරයාට, මහින්ද අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලයට සිදු වූ බව අද බොහෝ දෙනෙනක් අමතක කරති. සමස්ත අරගලයම කුණු බිත්තරයක් මෙන් ඉවතට විසිකර දැමිය නොහැකි බව අද මේ ආණ්ඩුවට ද අමතක වී තිබේ. අරගලකරුවන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට උඩින් පැන ගිය පිරිසක් ලෙස හංවඩු ගැසීමට සමහරු අද එඩිතරව සිටිති. එහෙත් තවමත් සමනය නොවුනු සමාජ දේශපාලනයක් සමඟ ගැටෙමින්, එය මැඬලීමට සාහසික වීමෙන් රටට යහපතක් සිදු විය හැකි ද යන ප්‍රශ්නය ආගමික නායකයෝ මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු ප්‍රබුද්ධ පුරවැසියෝ ද මතු කරති. හොරකම, බොරුව, වංචාව, නාස්තිය, අල්ලස යන බරපතළ අශිෂ්ට ක්‍රියාකාරකම් තවමත් නිදහසේ සිදුවෙමින් තිබේ. නිදහසින් පසු රාජ්‍ය පාලනය හිමිකරගත් ප්‍රභූවරුන්ගෙන් පසුව බිහි වූ දේශපාලන සංස්කෘතියෙහි නග්න විලාසය ගැන සංවාද – වාද – විවාද තවමත් ඇසෙයි. එහෙත් ඒ වෙනුවෙන් දක්වන සංවේදී ප්‍රතිචාර නැත. ගෝඨාභයගේ පලායෑමෙන් පසු උද්ගත වූ දේශපාලන අස්ථාවරත්වය මෙන්ම සමාජ කැළඹීම වෙනුවට කිසියම් ස්ථාවරත්වයක් ලබා දීමට ජනාධිපති රනිල්ට හැකි වී තිබේ. එහෙත් අද ඔහුට සහාය දක්වන පාර්ලිමේන්තුවේ බහුතරය අපේක්‍ෂා කරන්නේ තමන්ට අහිමි වී ගිය දේවල්, වරප්‍රසාද, ප්‍රතිලාභ යළි අත්පත්කර ගැනීමට විනා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රට ඉදිරියට ගෙනයෑමට සහාය දීම නොවන බව ඉතා පැහැදිලිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බලා ගෙන බදු වැඩිකිරීම, මූල්‍ය පාලන හා වෙනත් සීමා සිදුකිරීමට අමතරව ආණ්ඩුවට විශේෂ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සැලැස්මක් නැති බව ද පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය මතුරමින් ත්‍රස්තවාදීන් ලෙස තම ප්‍රතිවාදීන් හා තරුණ විශ්වවිiාල සිසුන්ගේ ව්‍යාපාර දෙස බැලීම නොකළ යුතුය. එහෙත් තවමත් අඳුරේ සිරකර තබා සිටින වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමියන් වැනි අය සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශ්නකාරී බව ද කිව යුතුය. ජනතාව ගෙවන දුෂ්කර ජීවිත කෙබඳු වුවද ඔවුන්ගේ මහජන නියෝජිතයන්ගේ ජීවන රටාව කෙතරම් සුමුදුද? සුන්දරද? කෙබඳු විවේචන සිදු වුවත් තවමත් බොහෝ දෙනෙකුගේ ආකල්පය තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම බව ද පෙනේ. ඇතැම් අය භීතියට පත්ව සිටින්නේ නිසැකයෙන්ම ඊළඟ මැතිවරණයකදී අත්විය හැකි පරාජය සිහිපත් වීමෙනි. එනිසා ඉන්න සුළු කාලය තුළවත් ඇමැතිකමක්, වෙනත් කොමිස් කුට්ටියක් ඩැහැගැනීම වැනි ප්‍රතිගාමී සිතිවිලි වලින් ඔවුහු අන්ධව සිටිති.

1978 දී ජයවර්ධන විසින් ලබාදෙන ලද බොහෝ හිමිකම් ප්‍රතිලාභ යම් ප්‍රමාණයකින් හෝ මෙරටේ ආරක්‍ෂා වූ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කරන්නක් විය. සාරධර්ම, මානව වටිනාකම්, සමාජ සාධාරණය ඇතුළු සාධනීය ලක්‍ෂණ සියල්ල සෝදාපාළු වූ දේශපාලන කාන්තාරයක් අපට උරුම වූයේ ඒ අනුවය. අද ජනතාවට විශ්‍රාමික දේශපාලනඥයන්ගේ බර ද දැරීමට සිදුව තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාගේම බර ද ජනතාවගේ කරපිටය. පසුගියදා මන්ත්‍රීවරුන් සඳහා හතර පස්ගුණයක වෛi රක්‍ෂණයක් ගැන ද යෝජනා විය. එහෙත් ජනතාවගේ වෛi සේවය කෙතරම් අනාරක්‍ෂිතද?

විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමිවන වරප්‍රසාද අභියෝගයකට ලක්වීමක් ද මෑතකදී සිදුවිය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාලට ලැබුණු පැජට් පාරේ නිවස සම්බන්ධයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව මෛත්‍රීට එම නිවස අත්හැරීමට සිදුවීම ද සුවිශේෂී සිදුවීමකි. එහෙත් නිල නිවස හා රජය සතු නිවාස අත්පත් කර ගත් සමහරුන්ට ඒ සඳහා කිසිදු හිමිකමක් නැති බව ද හෙළි වී තිබේ. එපමණක් නොව ඒ සමහර දේශපාලනඥයන්ගේ විදුලි හා ජල බිල් ගැන ද පියවරක් ගැනීමට තරම්වත් ශක්තියක් ආණ්ඩුවටවත් නැත.

කෙසේ හෝ අද දවසේත් දේශපාලනයේ මූලික අභිලාශය බලය අත්පත් කර ගැනීම පමණි. ආණ්ඩුව මැතිවරණ සිතියම හැකිලීමට දතකන බවට ද චෝදනා නැගී ඇත. පොහොට්ටුව කියන්නේ ද තමන් තවමත් ඉදිරියෙන්ම සිටින බලවේගය බවය. මේ අතර මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පත්කළ සීමා නිර්ණය කමිටුව බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බවට සමහරු චෝදනා කරති. එහෙත් මහින්ද දේශප්‍රිය දැඩිව ප්‍රකාශ කරන්නේ තම කමිටුව නිසා මොනම හේතුවක් නිසාවත් ඡන්දය කල්දැමීමට ඉඩක් නැති බවය. එහෙත් මේ සීමා නිර්ණය කමිටුව ආණ්ඩුව හඟවන ආකාරයේ සද්භාවයකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය උදෙසා ක්‍රියාත්මක වන දේශපාලන ප්‍රතිසංස්කරණයක් උදෙසා හෝ කැපවූවක් දැයි කාට නිශ්චිතවම කිව හැකිද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment