ජනාධිපති සිනමා සම්මාන උළෙල 14 වැනිදා

259

අවුරුදු පහකට පසුවයි පවත්වන්නේ – ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න

1972 වර්ෂයේ ආරම්භ වූ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 1979 වර්ෂයේ දී ජනාධිපති සිනමා සම්මාන උළෙල ආරම්භ කරන ලදී. එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය හෙබ වූ වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව මෙම උත්කර්ෂවත් මහෝත්සවය ආරම්භ කෙරිණි.

විවිධ වූ සමාජ, දේශපාලන, ආර්ථික හේතූන් මත මෙම සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට නොහැකි වූවද සිනමා සම්මාන ඉතිහාසය තුළ ජනාධිපති සිනමා සම්මාන උළෙල අද්විතීය ස්ථානයක් උරුමකරගත් බව නොරහසකි.

විසිවැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙම මස 14 වැනිදා සවස 6.30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතී.

මෙම සම්මාන උළෙලට සම්මාන ලබාදීම සඳහා සලකා බලන ලද්දේ 2019 හා 2020 යන වර්ෂයන්හි තිරගත වූ චිත්‍රපට 42කි.

ඒ අනුව 2019 වර්ෂයේ තිරගත වූ ගින්නෙන් උපන් සීතල, කතාකරන හීන, සිකුරු යෝගය, සංසාරේ දඩයක්කාරයා, මානය, හුද්ම, ෆේස් ටු ෆේස්, තාල, වැලි පවුරු, සුබා තෙරණියෝ, විජයබා කොල්ලය, රෂ්, විෂම භාග, දැකලා පුරුදු කෙනෙක්, අසන්ධිමිත්තා, සාම කුමරු කථාව, ජය ශ්‍රී ඇමැතිතුමා, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, යූ ටර්න්, නැති බැරි ටාසන්, ඉස්කෝලෙට මං ආවා, තිත්ත ඇත්ත, ගෝරි, රී ලෝඩ්, සංගිලි, සුළඟ අප රැගෙන යාවි, එක රෑනක කුරුල්ලෝ, සකී, parthepaa (LOCAL TAMIL, උලලේනි යන චිත්‍රපට තිහ ද 2020 වර්ෂයේ තිරගත වූ සුපර්ණා, පාංශු, මිස් ජෙනිස්, සුනාමි, ද නිව්ස් පේපර්, රූකඩ පැංචි, ද හෝන්, ඇවිළෙන සුලුයි, සූස්ති, ඊතලය, සේද මාවතේ, ෂෙලීනා චිත්‍රපට ඊට ඇතුළත් වේ.

මෙම සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචක, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම කැමරා අධ්‍යක්ෂ, හොඳම සංගීත අධ්‍යක්ෂ, හොඳම ගීත රචක, හොඳම ගී තනුව, හොඳම පසුබිම් ගායකයා, හොඳම පසුබිම් ගායිකාව, හොඳම ශබ්ද සැලසුම් ශිල්පී, හොඳම සංස්කරණ ශිල්පී, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම වේෂ නිරූපණ ශිල්පී, හොඳම නැඟී එන නළුවා, හොඳම නැඟී එන නිළිය, උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද චිත්‍රපටය, ජූරියේ විශේෂ සම්මානය, ජූරියේ විශේෂ කුසලතා සම්මානය ඇතුළුව ජීවිතයේ එක්වරක් හිමිවන ස්වර්ණ සිංහ සම්මානය, පුරෝගාමී සම්මානය, විශ්ව කීර්ති සම්මානය යන සම්මාන මෙහිදී ප්‍රදානය කිරීමට නියමිතය.

මෙම සම්මාන උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

ජනාධිපති සිනමා සම්මාන උළෙල 14 වැනිදා

එහිදී අදහස් දැක්වූ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

ඇත්තට ම කාලයක් මෙම සිනමා සම්මාන උළෙල පවත්වන්නට නොහැකි වෙලා තිබුණා. ඒකට විවිධ කාරණාත් බලපෑවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් ඒකට බලපෑවා කියලා අපි දන්නවා. වසර පහකට පසුව අපි තීරණය කළා මෙවර ජාතික චිත්‍රපට සංස්ථාව වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගේ සහ අනූෂ පැල්පිට ලේකම්තුමාගේ උපදෙස් පරිදි මෙවර ජානාධිපති සම්මාන උළෙල සංවිධානය කරන්න. මෙවර පවත්වන්නේ විසිවැනි සම්මාන උළෙලයි. ඉතිං මෙම සම්මාන උළෙල පවත්වන්න තීරණය කරලා තියෙන්නේ නොවැම්බර් 14 වැනිදාට නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී ජනධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙයින් අපි බලාපොරෝත්තු වෙනවා 2019 සහ 2020 කියන වර්ෂ දෙකට අදාළව මේ රටේ සිනමා ශිල්පීන් ඇගයීමට ලක්කරන්න සහ ඔවුන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා. 2019 වර්ෂයේ අපිට චිත්‍රපට 30 ක් තමයි තිරගත වෙලා තියෙන්නේ. 2020 දී චිත්‍රපට දොළහක් තිබුණා. ඒකට කොවිඩ් වසංගතයත් බලපෑවා. හැමදාම සිනමා සම්මාන උළෙලක දී සිදුකරනවා වගේ ම මෙවරට වර්ෂ දෙකට අදළාව අවශේෂ සම්මාන සමග සම්මාන පනස් තුනක් ප්‍රදානය කිරීමට නියමිතය. ඒකට ප්‍රධාන සම්මාන හතළිස් හතරක් ඇතුළත් වෙලා තියෙනවා. මේ චිත්‍රපට හතළිස් දෙකෙන් අපි ඉල්ලා සිටි සමහර චිත්‍රපට අපිට ලබාගන්න නොහැකි වුණා නිෂ්පාදක මහත්වරුන්ගෙන්. ඒවායින් චිත්‍රපට හතක් තියෙනවා මේ වසර දෙකට අදාළව අපවෙත ලබාගැනීමට නොහැකි වුණු. ඒ අනුව කථා කරන හීන, සිකුරු යෝගය, ෆේස් ටු ෆේස්, සාම කුමරුගේ කථාව, parthepaa දමිළ චිත්‍රපටය, ද හෝන් සහ සූස්ති කියන චිත්‍රපට. කෙසේ වුවත් මෙම සම්මාන උළෙලට ගොඩකන්ද හර්බල් සමගාම අනුග්‍රාහකත්වය ලබාදෙනවා.

දිනේෂ් විතාන

ඡායාරූප – නිමල් දයාරත්න


advertistmentadvertistment